පාකිස්තානයේ ‘සාර්ක්’ සමුළුව වර්ජනය කරන්න ඉන්දියාව සූදානම්
පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර ලබන නොවැම්බරයේ පැවැත්වීමට නියමිත සාර්ක් සමුළුව වර්ජනය කිරීමට ඉන්දියාව තීරණය කර ඇත.
සෙසු සාර්ක් සාමාජිකයන් වන බංග්ලාදේශය ද පවසා ඇත්තේ ඉන්දියාවට සහාය දක්වමින් තමන් ද ඉස්ලාමාබාද් සාර්ක් සමුළුව වර්ජනය කරන බවය.
ඉන්දියාව සහ බංග්ලාදේශය ගත් තීරණයට සහාය දැක්වීමට තමන් ද සූදානම් බව ඇෆ්ගනිස්තානය සහ භූතානය ද පවසා ඇත. කෙසේ නමුත් ඉසලාමාබාද් සමුළුව වර්ජනය කරනවා ද නැද්ද යන්න මෙතෙක් එම රටවල් පවසා නැත.
මෙවර සාර්ක් සමුළුව පැවැත්වෙන්නේ 19 වැනි වරටය. එක් සාමාජික රටක් හෝ සහභාගී නොවන්නේ නම් සාර්ක් සමුළුවක් පැවැත්වීම ගැටලුවක් වෙයි. ‘සාර්ක් සමුළුවේ ප්‍රධාන අරමුණ එහි සාමාජික රටවල් අතරේ සුහදත්වයක් සහ සහයෝගීතාවක් වර්ධනය කර ගැනීමය. එවැනි සුහදත්වයක් නිර්මාණය කිරීමට පාකිස්තානයට අවශ්‍ය නැති බව ඔවුන්ගේ ක්‍රියා කලාපයෙන් පැහැදිලි වෙනවා. එහෙයින් සමුළුව වර්ජනය කිරීමට ඉන්දියාව ගත් තීරණයට අපේ සහාය හිමි වෙනවා’ යැයි බංග්ලාදේශය පවසා ඇත.
ඉන්දියාව සහ පාකිස්තානය අතර අර්බුදයක් නිර්මාණය වූයේ පසුගිය සැප්තැම්බර් 11 වැනිදා, පාකිස්තාන ඉස්ලාමීය බෙදුම්වාදී ත්රස්තවාදීන් ඉන්දු කාශ්මීරයේ ඉන්දීය හමුදා කඳවුරකට කඩා වැදී ඉන්දීය සොල්දාදුවන් මරා දැමීමේ සිද්ධිය සමඟය.
එම සිද්ධියට තමන්ගේ සම්බන්ධයක් නැති බවත්, ඉන්දියාව පදනම් විරහිත චෝදනා එල්ල කරන බවත් පාකිස්තානය පවසයි. ඉන්දියාව කියා සිටියේ පාකිස්තාන බෙදුම්වාදී ත්‍රස්තවාදී කල්ලි එම ප්‍රහාරයට සම්බන්ධ වුණු බවට ප්‍රබල සාක්ෂි රැසක් තමන් සතුව ඇති බවත්, ඒවා අන්තර්ජාතික ප්‍රජාව සමඟ බෙදා ගන්නා බවත්ය.
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වුණු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන් උත්සාහ කළේ ත්රස්තවාදයට උඩගෙඩි දෙන රාජ්‍යයක් යැයි පවසමින් පාකිස්තානය හුදෙකලා කිරීමටය.
ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් සමුළුව අමතමින් කියා සිටියේ පාකිස්තානයට කවදාවත් කාශ්මීරය ඔවුන්ගේ කර ගැනීමට නොහැකි බවත් එය සිහිනයක් පමණක්ම වනු ඇති බවත්ය.
පාකිස්තාන ලෝක ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රටක් බවත්, ඊට එරෙහිව පාකිස්තානයට සම්බාධක දැමිය යුතු බවත් ඇමෙරිකා රජය පවසා ඇත.
ඉකුත් දා ඔබාමා පරිපලනය පාකිස්තානයට එරෙහිව පෙත්සමක් ද සකස් කළේය. ඊට මේ වනවිට අත්සන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලැබී ඇතැයි ද වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් ද සහභාගී විය. ඔහු සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අතරේ විශේෂ හමුවක් ද පැවැත්විණි.