පාකිස්තාන දුම්රිය ගැටුමින් හයක් මරුට



 

 

 

(ලාහෝර් - පාකිස්තානය)

පාකිස්තානයට අයත් පන්ජාබ් ප්‍රාන්තයේ අද උදැසන (15) සිදුවුණු දුම්රිය ගැටුමකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 150 කට වැඩිය.

තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය ද බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

අනතුරට ලක් වූයේ කරච්චි නුවර බලා යන මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියකි. සංඥා දෝෂ හේතුවෙන් එකම දුම්රිය මාර්ගයේ දුම්රිය දෙක පැමිණීමෙන් අනතුර සිදුවුණැයි සිදු කළ මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය කියයි. 

දුම්රිය ගැටුම සිදුවූයේ ෂෙර් සා පළාතේ බූච් දුම්රිය නැවැතුම්පොළ ආශ්‍රිතවය. ගැටුමත් සමඟ මගී දුම්රිය පීලි පැනීමකට ලක් විය. 

දුම්රිය මැදිරි කිහිපයක් පොඩි මට්ටම් වුණු අතර, ඒ තුළ සිරවුණු පිරිස් බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. මගී දුම්රිය කරච්චි බලා ධාවනය වෙමින් තිබුණේ පෙෂවෝර් සිටය. 

තුවාල ලැබූ පිරිස් රෝහල් දෙකකට යැවුණු බව ද පොලිසිය පවසයි. අනතුර සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ පැවැත්වෙන බව පාකිස්තාන දුම්රිය බලධාරීහු කියා සිටිති.


RECOMMEND POSTS