නිව්යෝක් පිපිරීමේ ප්‍රධාන සැකකරු අල්ලයි



USA

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර මැන්හැටන් ප්‍රදේශයේ පසුගිය 17 වැනිදා රාත්‍රියේ බෝම්බ පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇෆ්ගන් ජාතික ඇමෙරිකානුවකු යැයි එෆ්.බී.අයි. පරීක්ෂකයෝ පවසති.

එම ඇෆ්ගන් ජාතික ඇමෙරිකානුවා 28 හැවිරිදි අහ්මද් ඛාන් රහාමී නමැත්තාය. නිව්යෝක් නුවර බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන්නේ නිව්යෝක් පොලිසිය සහ එෆ්.බී.අයි. පරීක්ෂකයන්ගේ එකමුතුවෙනි. 

29 දෙනකු රෝහල් ගත කළ එම ප්‍රහාරයෙන් පසු සොයා ගත් සාක්ෂි අනුව පරීක්ෂණ පවත්වද්දී නිව්යෝක් පොලිසියට සහ එෆ්.බී.අයි. පරීක්ෂකයන්ට අහ්මද් ඛාන් රහාමී ගැන තොරතුරු ලැබුණි. 

නිව්යෝක් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු රහාමී බවත් ඔහු අනතුරුදායක පුද්ගලයකු බවත් පවසමින් ඔහුගේ ඡායාරූප නිව්යෝක් පුවත් සේවා හරහා ප්‍රසිද්ධියට පත් කෙරුණේ පසුගිය 18 වැනිදාය. 

බෝම්බය අටවා තිබුණු ස්ථානය අසල රහාමී ගැවසෙන අයුරු දැක්වෙන සී.සී.ටීවී. ආරක්ෂක කැමරා දසුන් ද ආරක්ෂක අංශ පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළේය.

එම විස්තර ප්‍රසිද්ධියට පත් කිරීමත් සමඟ නිව් ජර්සි තැබෑරුමක සිටි අහ්මද් ඛාන් රහාමී, පොලිස් නිලධාරියකුට දකින්න ලැබිණි. එම පොලිස් නිලධාරියා රහාමී අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගනිද්දී රහාමී සගවාගෙන සිටි පිස්තෝලයක් එළියට ගෙන පොලිස් නිලධාරියාට වෙඩි තැබුවේය.

වෙඩි නොවදින කබායක් පැළැඳ සිටි නිසා පොලිස් නිලධාරියාට අනතුරක් සිදු නොවිණි. එතැනට පැමිණි සෙසු පොලිස් නිලධාරීහු රහාමීට වෙඩි තබා ඔහු අල්ලා ගත්හ. වෙඩි වැදී තුවාල ලැබූ රහාමිගේ තත්ත්වය බරපතළ නොවන බව ද පැවැසෙයි.

විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ රහාමි ලින්ඩෙන්හි රෝහල් ගත කළේය. පැය 24 පුරා රහාමිට පොලිස් ආරක්ෂාව ලබා දී දෙන බවත්, වෙඩි වැදුණු රහාමිගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔහුගෙන් කට උත්තර ලබා ගන්නා බවත් එෆ්.බී.අයි. පරීක්ෂකයෝ පැවැසූහ.

නීති විරෝධී ගිනි අවියක් ළඟ තබා ගැනීම සහ පොලිස් නිලධාරියකු ඝාතනය කිරීමට තැත් කිරීම යන චෝදනා මේ වනවිට රහාමිට එල්ල වී ඇති අතර, ඊයේ දිනයේ ඔහු අධිකරණ විනිසුරුවරයකු හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇමෙරිකන් ඩොලර් මිලියන 5.2 ක ඇපයක් නියම කෙරුණි. 

රහාමිගේ වැඩි විස්තර මෙතෙක් මාධ්‍ය වෙත නිකුත් කර නැත. රහාමි විවාහකයකු බවත් ඔහුගේ බිරිය පාකිස්තානයේ ජීවත් වන බවත් පැවැසෙයි. ඔහු නිව්යෝක් නුවර කුකුළුමස් අවන්හලක සේවකයකු ලෙස සේවය කරන අයෙකි. 

රහාමි සහ ඔහුගේ පවුලේ අය සංක්‍රමණිකයන් ලෙස ඇමෙරිකාවට පැමිණ ඇත්තේ 90 දශකයේය. ඒ වනවිට රහාමිගේ වයස අවුරුදු 7 කි. රහාමි අධ්‍යාපනය ලබා ඇත්තේ ඇමෙරිකානු පුරවැසියකු ලෙසය. මොහු පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ඇෆ්ගනිස්තානයට ගොස් ඇත. සැකකටයුතු අයකු නොවූ නිසාත්, සැකකටයුතු පුද්ගලයන් ඇසුරු නොකළ නිසාත් රහාමි ත්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් කර නොතිබුණු බව එෆ්.බී.අයි. පරීක්ෂකයෝ පවසති.

පසුගිය 17 වැනිදා පුපුරා ගිය එම බෝම්බය අටවා තිබුණේ මැන්හැටන්හි සීසයිඞ් උද්‍යානය ඉදිරිපිට මාර්ග කුණු කූඩයකය. මෙම ස්ථානයෙන් ධාවන තරගයක් ආරම්භ කිරීමට නියමිතව තිබුණි. 

ඒ, ඇමෙරිකන් මෙරීන් හමුදා භටයන් සහ නාවික හමුදා භටයන් වෙනුවෙන් ආධාර එකතු කිරීමේ අරමුණින් ස්වේඡා සංවිධාන එක් වී සංවිධානය කළ එකකි. බෝම්බය සකස් කිරීමට පීඩන උදුනක කොටස් යොදා ගෙන තිබුණු බව පසුව අනාවරණය විය. එම බෝම්බ ප්‍රහාරයෙන් පසු සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී කාල බෝම්බ ලෙස පුපුරා යෑමට අටවා තිබුණු තවත් එවැනිම බෝම්බ පහක් සොයා ගැනීමට නිව්යෝක් ආරක්ෂක අංශ සමත් වූ අතර, ඒවා වහා නිෂ්ක්‍රීය කළ බව ද වාර්තා විය.


RECOMMEND POSTS