ඩොලර් බිලියන 38ක ගිවිසුමක්
ඇමෙරිකා එක්සත් ජනපදය හා ඊශ්රායලය අතර වසර දහයක ආරක්ෂක ගිවිසුමක් අත්සන් තැබීමට නියමිතය. එම ගිවිසුම ඇමෙරිකාව තනි රටකට හමුදා සහාය දීම සඳහා අත්සන් තබන ප්රධානතම හා වැදගත්ම ගිවිසුම යැයි ද පැවසේ. ඇමෙරිකා එක්සත් ජනපදය මෙතෙක් එතරම් හමුදා සහයෝගයක් වෙනත් කිසිදු රටකට දී නැතැයි ද කියැවේ.
එම ගිවිසුමේ අවසන් සකස් කිරීම් කටයුතු සඳහා ඊශ්රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ වැඩ බලන ප්රධානී ජාකෝබ් නාගෙල් අඟහරුවාදා (13) ඇමෙරිකා එක්සත් ජනපදයට ළඟා වූයේය.
මෙම ආරක්ෂක ගිවිසුමේ වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන 38ක් යැයි වාර්තා වන අතර ගිවිසුමට නිල වශයෙන් අත්සන් තැබීම බදාදා (14) දිනයේදී සිදු කරනු ඇතැයි වාර්තා විය.
මෙම ගිවිසුම ඔස්සේ ඊශ්රායලයට වාර්ෂිකව ඇමෙරිකා ඩොලර් බිලියන 3ක ආරක්ෂක ආධාරයක් හිමිවනු ඇත. මෙම ගිවිසුමත් සමඟ ඊශ්රායලය ඇමෙරිකා එක්සත් ජනපද කොංග්රසයෙන් අමතර ආධාර නොඉල්ලා සිටීමට ද එකඟතාව පළ කර ඇත.
මෙම ගිවිසුමට අත්සන් තැබීම සඳහා ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඇමෙරිකා එක්සත් ජනපදයට යෑමට නියමිත අතර ඔහු ඊට අමතරව එක්සත් ජාතීන්ගේ මහ සැසියට ද සහභාගී වනු ඇත.