ඔබාමා අවසන් ජගත් සමුළුව අමතයි
USA
ලෝකය යහපත් තැනක් කිරීමටත්, දැනට පවතින අර්බුදය විසඳීමටත් රටවල් අතරේ සහජීවනයක් අවශ්‍ය යැයි ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා පෙරේදා (20) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් කියා සිටියේය.
71 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය පැවැත්වෙන්නේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේය. ඔබාමා මේ වසරේ ජනපති ධුරයට සමු දීමට නියමිත අතර ඔහු සමුළුව ඇමැතුවේ අවසන් වරටය.
“රටවල් බොහොමයක් තම තමන්ගේ පෞද්ගලික වාසියට මුල් ගැන දෙමින් අනුන්ගේ යුද්ධවලට මැදිහත් වී සිටිනවා. මේ තත්ත්වය අලුත් දෙයක් නොවෙයි. මේ වනවිට පවතින යුද ගැටුම්වලට විසඳුම් සෙවීමට නම් කළ යුතු වන්නේ මෙයයි” යැයි ඔබාමා සමුළුව අමතමින් අවධාරණය කළේය.
ඔබාමා ඇමෙරිකන් ජනපති ලෙස සිය අවසන් වරට සමුළුව අමතද්දී, බිරිය මිෂෙල් ඔබාමා ද එහි පැමිණ අසුන් ගෙන සිටියාය. ඇය අසලින් වාඩි වී සිටියේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන්ගේ බිරිය යූ සූන් තෙක් ඇය අසලින් අසුන්ගෙන සිටියාය.
“මගේ පරිපාලනය යටතේ ඇමෙරිකාව ලැබූ සාර්ථකත්වය අති මහත්. ඒ ගැන ආඩම්බරයි. ඉරාන න්‍යෂ්ටික අර්බුදය සම්බන්ධයෙන් විසඳුමකට එලැඹීමටත් ඉරානය සමඟ යහපත් සබඳතා ආරම්භ කිරීමටත් අපට හැකි වුණා. අප දශක ගණනාවකට පසු කියුබාව සමඟ යහපත් සබඳතා ආරම්භ කළා. ෆාර්ක් ගරිල්ලන් සහ කොලොම්බියා රජය අතර පැවැති දීර්ඝ යුද්ධය අවසන් කර සාම කතා ආරම්භ කිරීමට ද අප මැදිහත් වුණා. බුරුම (මියන්මාර) ජාතන්ත්රවාදී නායිකා මෙන්ම එරට විදේශ ඇමැතිනිය අවුන් සාන් සූ කී අද මෙම සමුළුවට පැමිණ සිටිනවා. බුරුමයට එරෙහිව පනවා තිබුණු සම්බාධක අප ඉවත් කිරීමට කටයුතු කළා.” යැයි ද ඇමෙරිකා ජනපති ඔබාමා වැඩි දුරටත් සමුළුවේදී කියා සිටියේය.