සූ කී - ඔබාමා හමුවක්
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)
බුරුම (මියන්මාර) විදේශ ඇමැතිනිය මෙන්ම එරට රාජ්‍ය මන්ත්‍රණ සභා සාමාජිකාවක ද වන අවුන් සාන් සූ කී ඊයේ (14) ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණ ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා හමුවූවාය.
ඇමෙරිකාව තවමත් මියන්මාරය හඳුන්වන්නේ එහි පැරැණි නම වන ‘බුරුමය’ ලෙසිනි. බුරුම විදේශ ඇමැතිනිය මෙන්ම එරට ප්රජාතන්ත්රවාදය සඳහා වන ජාතික ලීගයේ නායිකාව ද වන්නේ සූ කී ය. බුරුම හමුදා පාලනය යටතේ වසර ගණනක් නිවාස අඩස්සියේ රැඳවා තැබුණු සූ කී නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා ඇත.
ධවල මන්දිරයට පැමිණි සූ කී, ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට ජනාධිපති බැරැක් ඔබාමා කටයුතු කළේය. සූ කී බුරුම විදේශ ඇමැතිනිය ලෙස ඇමෙරිකාවට පැමිණ ඔබාමා හමුවන පළමු අවස්ථාව මෙයයි. පසුගිය දා ලාඕසයේ පැවැති ‘ආසියාන්’ සමුළුව අතරතුරේ ඔබාමා සහ සූ කී අතරේ ද කෙටි හමුවක් පැවැත්විණි.
ඇමෙරිකාව සහ බුරුමය අතර දේශපාලනික, ආර්ථික සබඳතා වර්ධනය කර ගැනීමට අවුන් සාන් සූ කී සහ ජනපති ඔබාමා අතරේ සාකච්ඡා පැවැත්විණි.
අවුන් සාන් සූ කීගේ ප්රජාතන්ත්රවාදය සඳහා වන ජාතික ලීගය බලයට පත් වූයේ පසුගිය නොවැම්බරයේ පැවැති මහ මැතිවරණයෙනි. ඒ වසර 49 ක් තිස්සේ පැවැති හමුදා බාලනය අවසන් කරමිනි.
එම මැතිවරණයේදී ජාතන්ත්රවාදය සඳහා වන ජාතික ලීගය බහුතර බලය දිනාගෙන බලයට පත් වුවත්, එහි නායිකාව ලෙස සූ කීට ජනපති ධුරයට පත් වීමට නොහැකි විය. ඒ එරට හමුදා පාලකයන් විසින් සකස් කරනු ලැබ ඇති ව්‍යවස්ථාවට අනුවය.
සූ කී විදේශිකයකු සමඟ විවාහ වී සිටි නිසා ව්‍යවස්ථාවට අනුව ඇයට ජනපති ධුරයට පත් වීමට නොහැකි විය. ඇගේ මියගිය සැමියා බි්රතාන්ය වැසියෙකි. සූ කී වෙනුවට ජනපති ධුරයට පත් කෙරුණේ ප්රජාතන්ත්රවාදය සඳහා වන ජාතික ලීගයේ ජ්‍යෙෂ්ඨයකු වන හිටින් කෝව් ය.
බුරුම විදේශ ඇමැතිනී සූ කී ඊයේ දිනයේ ඔබාමා හමුවීමෙන් පසු ඇමෙරිකා උප ජනාධිපති ජෝ බයිඩන් ද හමුවූවාය. ඊට අමතරව, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ ඇමෙරිකන් කොංග්රස් සාමාජිකයන් ද හමුවී සාකච්ඡා කළාය.
සූ කී නිවාස අඩස්සියෙන් නිදහස් වීමෙන් පසුව, ප්රජාතන්ත්රවාදී රාමුවක් තුළ කටයුතු කරනවා යැයි හමුදා පාලකයෝ පැවැසූහ. එම අවස්ථාවේදී ඇමෙරිකාව බුරුමයට පනවා තිබුණු සම්බාධක ලිහිල් කළේය. 2012 නොවැම්බර් 9 වැනිදා ඔබාමා ආසියානු සංචාරයකට එක් වෙමින් බුරුමයට පැමිණ යැංගොන් නුවරදී සූ කී හමුවීමට ද කටයුතු කළේය.