බෑන් කී මූන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
USA
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ලෙස බෑන් කී මූන් පෙරේදා (20) අවසන් වරට ජගත් මහ සමුළුව අමතමින් සිරියානු අර්බුදය දිනෙන් දින දිග්ගැස්සීම, සරණාගත අර්බුදය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝක නායකයන්ට දොස් නැගීය.
සිරියානු අර්බුදය සම්බන්ධයෙන් එරට ජනපති බෂීර් අල් අසාද්ගේ පමණක් නොව, ලෝක නායකයන් රැසකගේ අත්වල ද ලේ ගෑවී ඇතැයි මහ ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.
සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ඊට සාර්ථක විසඳුමක් සෙවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අපොසත් වීම, මහ ලේකම්වරයා ලෙස තමා ලැබූ අසාර්ථකත්වයක් යැයි ද මූන් වැඩි දුරටත් කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ලෙස මූන්ගේ ධුර කාලය මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වෙයි. බැන් කී මූන් දකුණු කොරියානුවෙකි. මහ ලේකම් ධුරයෙන් ඉවත් වී දකුණු කොරියානු ජනපති ධුරය වෙනුවෙන් තරග කිරීමට තමා අපේක්ෂා කරන බව මූන් පවසා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වැනි මහා මණ්ඩල සැසිය පෙරේදා (20) නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලේදී ආරම්භ වූයේ දැඩි ආරක්ෂාවක් යටතේය. ඒ, සමුළුව පැවැත්වෙන මැන්හැටන් පළාතේ බෝම්බ පිපිරීමේ සිදුවීම හේතුවෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව රටවල් 193 ක එකමුතුවෙන් පිහිටුවා ගත් ලොව ලොකුම සංවිධානයයි. මෙවර සමුළුවේ තේමාව තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමය. ලෝක නායකයෝ තම තමන්ගේ අදහස් සහ යෝජනා සමුළුවට ඉදිරිපත් කළහ.
මෙම මහා මණ්ඩල සැසිවාරයේ දී යුද ගැටුම්, දේශපාලන අර්බුද හේතුවෙන් උන්හිටිතැන් අහිමි වුණු මිලියන 65.3 කට වැඩි සරණාගතයන් සහ අනවසර සංක්රමණිකයන් සම්බන්ධයෙන් ලෝක නායකයන් අතරේ සාකච්ඡා කෙරේ.
සංක්රමණික සහ සරණාගත අර්බුදය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ සමහා මණ්ඩල සැසියකදී, විශේෂ සැසියක් පැවැත්වෙන්නේ පළමු වරටය.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දී සිටින දරුණුතම සරණාගත සහ සංක්රමණික අර්බුදය මෙය යැයි ද පැවැසෙයි. මෙම අර්බුදයට මුහුණ දී සිටින්නේ අප්රිකා සහ මැදපෙරදිග රටවල වැසියන් සහ යුරෝපා රටවල වැසියන්ය.
සිරියාවේ යුද ගැටුම් හේතුවෙන් එරට හරි අඩක් පමණ මේ වනවිට යුරෝපා රටවලට පලා ගොස් ඇතැයි වාර්තා වේ. නීතිවිරෝධී සංක්රමනිකයන් ලෙස පැමිණෙන මෙම සිවිල් වැසියන්ට තාවකාලිකව නවාතැන් ලබා දීමට යුරෝපා රටවල් පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.