පාකිස්තානයට දළදඬු නීති ගේන්න ඇමෙරිකාව සැරැසෙයි
USA
පාකිස්තානය ත්රස්තවාදයට ‘අනුග්‍රහය’ දක්වන රටක් පවසමින් එරටට එරෙහිව දළදඩු තීරණ ගන්නා බව ඇමෙරිකා රජය ඊයේ (21) පැවැසීය.
ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඉහළ පෙළේ සාමාජිකයන් දෙදෙනකු මේ වනවිට ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන පාකිස්තානයට එරෙහිව පනත් කෙටුම්පතක් ද සකස් කර ඇතැයි වාර්තා වේ. එම පනත් කෙටුම්පත සම්මත වුවහොත්, ඇමෙරිකාව පාකිස්තානයට එරෙහිව සම්බාධක පැනැවීමට කටයුතු කරනු ඇත.
‘ගෝලීය ත්රස්තවාදයට එරෙහිව සටන් වදිනවා යැයි පාකිස්තානය ඇමෙරිකාවට පමණක් නොව බටහිර ලෝකයට සහතිකයක් ලබා දී තිබෙනවා. ඇමෙරිකාව පාකිස්තානය ගැන ලොකු විශ්වාසයක් ඇති කරගෙන තිබුණා. නමුත් ඒ විශ්වාසය දැන් කඩවෙලා. පාකිස්තානයේ මෙම ද්‍රෝහීවීම සුළුකොට තකන්න බැහැ’ යැයි කොංග්‍රස්සභික ටෙබ් පෝ කියා සිටී. ඇමෙරිකා කොංග්රස් මණ්ඩලයේ ත්රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් පිහිටුවූ අනුකමිටුවේ සභාපතිවරයා වන්නේ ද මොහුය.
පසුගිය සති අන්තයේ ඉන්දියාවට අයත් කාශ්මීරයේ ‘යූරි’ හමුදා කඳවුරකට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තානය සිටින බවට චෝදනා කරමින්, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ආරම්භ වුණු එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී පාකිස්තානය හුදෙකලා කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කටයුතු කළේය. ඉන්දීය අගමැති මෝදි පමණක් නොව පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් ද ජගත් මහ සමුළුවට සහභාගී වී සිටී.
පාකිස්තාන රජය ඉන්දියාවේ ක්රියාක්මක බෙදුම්වාදීන්ට පමණක් නොව, ලෂ්කාර් ඊ තයිබා වැනි ඉස්ලාමීය ත්‍රස්තවාදී කල්ලිවලට පවා අනුග්‍රහය ලබා දෙන බව ඇමෙරිකාව පමණක් නොව ද චෝදනා කරයි.
අල් කයිඩාවේ හිටපු නායක ඔසාමා බින් ලාඩන් සැඟවී සිටියේ ද පාකිස්තානයේ ඇබොට්ටාබාද් නමැති නගරයේය. ඒ බව තමන් හෝ තම බුද්ධි අංශ හෝ දැන නොසිටි බව පාකිස්තාන රජය පැවැසුවත් ඇමෙරිකාව එය පිළිගන්නේ නැත. ඇමෙරිකා හමුදා බින් ලාඩන් මරා දැම්මේ පාකිස්තාන රජයට නොදන්වාය.
පසුගිය 17 වැනිදා ඉන්දු කාශ්මීරයේ පිහිටි ‘යූරි’ හමුද කඳවුරට එල්ල වුණු ප්‍රහාරයෙන් ඉන්දීය සොල්දාදුවෝ 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ප්‍රහාරයට ඉස්ලාම් බෙදුම්වාදී ත්රස්තවාදීන් සිවු දෙනකු පැමිණි බව ද වාර්තා වේ. දශක දෙකකට පමණ පසු ඉන්දු කාශ්මීරයේ සිදුවුණු දරුණුතම ප්‍රහාරය මෙය යැයි ද පැවැසෙයි. කඳවුරට එල්ල වුණු එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ හමුදා සොල්දාදුවන්ගේ ගණන 30 කට වැඩිය.
එම ප්‍රහාරයෙන් පසු පාකිස්තානයට එරෙහිව කුමන ආකාරයක ක්‍රියා මාර්ගයක් ගත යුතුදැයි ඉන්දීය අගමැති මෝදි සහ ඇමැති මණ්ඩලය අතරේ සාකච්ඡා පැවැත් වුණු අතර ජගත් මහ සමුළුවේදී පාකිස්තානයට එරෙහිව හඬ නගා සෙසු ලෝක රටවල ද සහාය ලබා ගැනීමට ඉන්දියාව කටයුතු කර තිබේ.
මේ අතර ‘යූරි’ හමුදා කඳවුරට එල්ල වුණු එම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව තමන්ට එල්ල කරන චෝදනා පදනම් විරහිත බවත්, පාකිස්තාන රජයේ අනුග්‍රහය ඉන්දු කාශ්මීරයේ බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම්වලට නොලැබෙන බවත් පාකිස්තාන රජය අවධාරණය කර ඇත.
ජගත් මහ සමුළුවට සහභාගී වීමට නිව්යෝක් නුවරට පැමිණ සිටින පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අතරේ පෙරේදා (20) හමුවක් ද පැවැත් වුණු අතර, එහිදී කෙරී අගමැති ෂරීෆ්ට පවසා ඇත්තේ ත්රස්තවාදයට එරෙහි සටනට පාකිස්තානයෙන් ලැබෙන දායකත්වය අඩු බවය.
මේ අතර ඉන්දීය හමුදා තඳවුරට එල්ල වුණු එම ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද දැඩි විරෝධයක් පාකිස්තානයට එල්ල වී ඇත.