පාකිස්තානයට එරෙහිව ඇමෙරිකාවෙන් පෙත්සමක්
පාකිස්තානය ලෝක ත්රස්තවාදයට උඩගෙඩි දෙන රාජ්‍යයක් ලෙස නම් කිරීමට ඔබාමා පරිපාලනය සකස් කළ පෙත්සමට මේ වනවිට අත්සන් ලක්ෂයක් හිමිවී ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා ඊයේ (27) වාර්තා කළේය.
මෙම පෙත්සම අන්තර් ජාලය ඔස්සේ එළිදැක්වූයේ පසුගිය 21 වැනිදාය. ඒ, පාකිස්තානය ත්රස්තවාදයට ‘අනුග්‍රහය’ දක්වන රටක් බව පවසමින් එරටට එරෙහිව දළදඩු තීරණ ගැනීමට ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඉහළ පෙළේ සාමාජිකයන් තීරණය කළ අවස්ථාවේදීය.
පාකිස්තානයට එරෙහිව පනත් කෙටුම්පතක් ද සකස් කර ඇති අතර, එම පනත් කෙටුම්පත සම්මත වුවහොත්, ඇමෙරිකාව පාකිස්තානයට එරෙහිව සම්බාධක පැනැවීමට කටයුතු කරනු ඇත. එම පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ කොංග්‍රස්සභික ටෙබ් පෝ ය. ඇමෙරිකා කොංග්රස් මණ්ඩලයේ ත්රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් පිහිටුවූ අනුකමිටුවේ සභාපතිවරයා ද මොහුය.
මීට දින කීපයකට පෙර ඉන්දියාවට අයත් කාශ්මීරයේ ‘යූරි’ හමුදා කඳවුරකට එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තානය සිටින බවට චෝදනා කරමින්, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත් වුණු එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී පාකිස්තානය හුදෙකලා කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කටයුතු කළේය.
පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් ද ජගත් මහ සමුළුවට සහභාගී වූයේය. ඉන්දීය රජය වෙනුවෙන් ජගත් සමුළුවේදී පාකිස්තානයට දෙහි කැපුවේ ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ්‍ය. කාශ්මීරය අයිති කර ගැනීම පාකිස්තානයට සිහිනයක් පමණක් වනු ඇතැයි ද එම අවස්ථාවේදී ඉන්දීය විදේශ ඇමැතිනිය අවධාරණය කළාය.
අල් කයිඩාවේ හිටපු නායක ඔසාමා බින් ලාඩන් සැඟවී සිටියේ ද පාකිස්තානයේ ඇබොට්ටාබාද් නමැති නගරයේය. ඒ බව තමන් හෝ තම බුද්ධි අංශ හෝ දැන නොසිටි බව පාකිස්තාන රජය පැවැසුවත් ඇමෙරිකාව එය පිළිගන්නේ නැත. ඇමෙරිකා හමුදා බින් ලාඩන් මරා දැම්මේ පාකිස්තාන රජයට නොදන්වාය.
පසුගිය 17 වැනිදා ඉන්දු කාශ්මීරයේ පිහිටි ‘යූරි’ හමුද කඳවුරට එල්ල වුණු ප්‍රහාරයෙන් ඉන්දීය සොල්දාදුවෝ 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ප්‍රහාරයට ඉස්ලාම් බෙදුම්වාදී ත්රස්තවාදීන් සිවු දෙනකු පැමිණි බව ද වාර්තා වේ. දශක දෙකකට පමණ පසු ඉන්දු කාශ්මීරයේ සිදුවුණු දරුණුතම ප්‍රහාරය මෙය යැයි ද පැවැසෙයි. කඳවුරට එල්ල වුණු එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ හමුදා සොල්දාදුවන්ගේ ගණන 30 කට වැඩිය.
එම ප්‍රහාරයෙන් පසු පාකිස්තානයට එරෙහිව කුමන ආකාරයක ක්‍රියා මාර්ගයක් ගත යුතුදැයි ඉන්දීය අගමැති මෝදි සහ ඇමැති මණ්ඩලය අතරේ සාකච්ඡා පැවැත් වුණු අතර ජගත් මහ සමුළුවේදී පාකිස්තානයට එරෙහිව හඬ නගා සෙසු ලෝක රටවල ද සහාය ලබා ගැනීමට ඉන්දියාව කටයුතු කර තිබේ.
මේ අතර ‘යූරි’ හමුදා කඳවුරට එල්ල වුණු එම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව තමන්ට එල්ල කරන චෝදනා පදනම් විරහිත බවත්, පාකිස්තාන රජයේ අනුග්‍රහය ඉන්දු කාශ්මීරයේ බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම්වලට නොලැබෙන බවත් පාකිස්තාන රජය අවධාරණය කර ඇත.
ජගත් මහ සමුළුවට සහභාගී වීමට නිව්යෝක් නුවරට පැමිණි පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අතරේ හමුවක් ද පැවැත් වුණු අතර, එහිදී කෙරී අගමැති ෂරීෆ්ට පවසා ඇත්තේ ත්රස්තවාදයට එරෙහි සටනට පාකිස්තානයෙන් ලැබෙන දායකත්වය අඩු බවය.