ගෝලීය ත්‍රස්තවාදය දකුණු ආසියාවට තර්ජනයක් මාලදිවයින ජනපති කියයි






ගෝලීය ත්‍රස්තවාදය දකුණුදිග ආසියානු කලාපයට විශාල තර්ජනයක් බවත්, ඊට එරෙහිව සාර්ක් කලාපීය රාජ්‍ය නායකයන් සැවොම අත්වැල් බැඳ ගත යුතු බවත් මාලදිවයින ජනාධිපති අබ්දුල්ලා යමීන් පවසයි.
අබ්දුල්ලා යමීන් මේ බව කියා සිටියේ, ලබන නොවැම්බරයේ දී පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වීමට නියමිතව තිබුණු 19 වැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුව නිල වශයෙන් කල් දැමීමට පාකිස්තාන රජය තීරණය කළ අවස්ථාවේදීය.
පාකිස්තාන රජය එසේ තීරණය කළේ ඉන්දියාවත්, ඉන්දියාවට සහාය දක්වමින් බංග්ලාදේශය, භූතානය සහ ඇෆ්ගනිස්තානය සමුළුව වර්ජනය කිරීමට තීරණය කළ නිසාය.
ඉන්දියාව එසේ සමුළුව වර්ජනය කිරීමට තීරණය කළේ ඉකුත් දා පාකිස්තාන බෙදුම්වාදී ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකින් ඉන්දියාවේ යූරි නමැති හමුදා කඳවුරේ සොල්දාදුවන් 19 දෙනකු ජීවිතක්ෂයට පත් වීමේ සිදුවීම මුල්කොට ගනිමිනි.
‘සාර්ක්’ රාජ්‍ය නායක සමුළුව පැවැත් විය යුත්තේ සහයෝගීතාව වර්ධනය කර ගැනීමට, සාමකාමී වාත්වරණයක් යටතේ. එවැනි සාමකාමී වාතාවරණයක් නිර්මාණය කර ගන්න කලාපීය වශයෙන් අප සැවොම කටයුතු කළ යුතු වෙනවා’ යැයි විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ජනපති යමීන් අවධාරණය කළේය.
සාර්ක් සමුළුවේ වැදගත්කම පවසමින්, මාලදිවයින ජනපතිවරයා අවධාරණය කළේ සුදුසු සාමකාමී වාතාවරණයක් යටතේ සමුළුව පැවැත් වීමට කලාපීය රාජ්‍ය නායකයන් කටයුතු කළ යුතුයි කියාය.

දකුණු ආසියානු රාජ්‍ය නායක සමුළුව හෙවත් ‘සාර්ක්’ සංවිධානය පිහිටුවුණු ලැබුවේ 1985 වසරේදීය. ඊට ආසියානු රටවල් අටක් ඇතුළත් වෙයි. එම රටවල් වන්නේ ඇෆ්ගනිස්තානය, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, පාකිස්තානය සහ ශ්‍රී ලංකාවය. සමුළුවේ අරමුණ මෙම රටවල් අතරේ සහයෝගීතාව වර්ධනය කිරීමය.

 


RECOMMEND POSTS