එදිරිවාදිකම් අවසන්: තුර්කි ජනපති රුසියන් ජනපති පුටින් හමුවෙයි



තුර්කි ජනපති සිය ආධාරකරුවන් පිරිවරාගෙන...


ශාන්ත පීටර්ස්බර්ග්හිදීය (රොයිටර්)
එදිරිවාදිකම් පසෙකලා යළි මිතුරුවීමෙන් පසු තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොගොන් ඊයේ (9) රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට පැමිණ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා කළේය.


රුසියාවත් තුර්කියත් අතර අමනාපකම් ඇති වූයේ පසුගිය වසරේ නොවැම්බරයේදී සිරියානු තුර්කි දේශසීමාවේදී අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන්ට පහර දෙමින් සිටි රුසියානු ගුවන් හමුදාවට අයත් එෆ් 16 ප්‍රහාරක ජෙට් යානයක්, තුර්කි ගුවන් හමුදාව පහර දී බිම හෙළීමේ සිද්ධියෙන් පසුවය. 

තුර්කිය පැවැසුවේ, තම ගුවන් සීමාව උල්ලංගනය කළ නිසා රුසියන් යානයට පහර දුන් බවය. සිරියානු අර්බුදයේ දී රුසියාව සහ පුටින් සහාය දක්වන්නේ බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන බෂීර් අල් අසාද්ටය. 

තුර්කිය සහාය දක්වන්නේ අසාද් බලයෙන් නෙරපා දැමීමට සටන් වදින සන්නද්ධ විපක්ෂයටය. කෙසේ නමුත් එම සන්නද්ධ විපක්ෂයට සහාය දක්වන අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව තුර්කි රජයත් රුසියානු රජයත් එක් වී සටන් වදී.

රුසියානු ප්‍රහාරක යානයට පහර දීමේ සිද්ධිය මුල් කොට ගනිමින් රුසියාව සහ තුර්කිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටුණි. ජනපති පුටින් තුර්කියට ආර්ථික සම්බාධක ද පැනැවීමට කටයුතු කළේය. 

මීට සති කිහිපයකට පෙර, එම සිද්ධිය සම්බන්ධයෙන් තුර්කි ජනපති එර්ඩෙගොන් කනගාටුව පළ කළේය. ඒ සැණින්, රුසියාව සහ තුර්කිය අතර මිතුදම් යළි අලුත් විය.

ඉකුත් ජූලි 15 වැනි දා තුර්කි ජනපති බලයෙන් නෙරපීමට එරට හමුදාව උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය. ඒ, තුර්කි ජනපති එර්ඩෙගොන්ට සහාය පළ කරමින් ලක්ෂ ගණනක් තුර්කි වැසියන් වීදි බැස හමුදාවට අභියෝග කිරීම නිසාය.

අසාර්ථක වුණු එම හමුදා කුමන්ත්‍රණයෙන් පසු තුර්කි ජනපති විදෙස් සංචාරයකට එක් වුණු පළමු අවස්ථාව මෙයයි. ශාන්ත පීටර්ස්බර්ග් යනු රුසියානු ජනපති පුටින්ගේ උපන් නගරයයි. තුර්කි ජනාධිපති මහත් හරසරින් පිළි ගැනීමට පුටින් කටයුතු කර තිබුණි.


RECOMMEND POSTS