ළාබාලතම අගමැති



ඒ, 2004 වසරේ මාර්තු 29 වැනිදාය. තායිලන්තයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවමින් සිටියේ සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තයකු මෙන්ම බිලියනපති ව්‍යාපාරිකයකු ද වන තක්ෂින් ෂිනවාත්‍රාය. ෂිනවාත්‍රා යන්නේ කොහේද මාධ්‍යවේදීන් පිරිසක් ද නිතරම ඔහු පසුපස යෑම පුරුද්දක් විය. එදා සිය ආරක්ෂකයන් පිරිවරා ගනිමින්, අග්‍රාමාත්‍යවරයා බැංකොක් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයක පිහිටි මැක්ඩොනල්ඩ්ස් අවන්හලට ගොඩවිය. ඒ බර්ගර් ඇණවුම් කිරීමටය. අග්‍රාමාත්‍යවරයා දුටු සැණින්, සිනාමුසු මුහුණින් ඔහු වෙත පැමිණ, ඔහුගේ ඇණවුම බාරගෙන එය කඩිනමින් ලබාදීම කළේ කවුන්ටරයේ සිටි තරුණ කෙල්ලකි. මේ සියල්ල අග්‍රාමාත්‍යවරයාගේ පසුපසින් ආ මාධ්‍ය ඡායාරූප ශිල්පීන්ගේ කැමරාවල සටහන් වූ අතර, ඇය සහ අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූප දෙස් විදෙස් මාධ්‍යවලින් ප්‍රසිද්ධ වෙද්දී ඒ ගැන ද කසුකුසුවක් නිර්මාණය විය. 17 හැවිරිදි මේ තරුණ කෙල්ල, වෙන කවුරුවත් නොව, තක්ෂින්ගේ දියණිය පේටොංග්ටෝන් ෂිනවත්‍රාය.

‘තාත්තා බිලියනපතියෙක්. රටේ අගමැති. දියණිය අවන්හලක වැඩ.’ මේ මාධ්‍යවල පළ වුණු සිරස්තල විය. අප්‍රකටව ජීවත් වුණු පේටොංග්ටෝන්ගේ රුව මුල් වරට බොහෝ දෙනකුට දකින්න ලැබුණේ ද එදාය. “මම ව්‍යාපාරිකයෙකු වුණේ මහන්සිවෙලා. මහන්සිවෙලා වැඩ කිරීම, මුදල්වල අගය මම දන්නවා. අලුත් පරම්පරාව ඒක දැනගන්න ඕනෑ. ඒකයි මගේ දියණිය මැක්ඩොනල්ඩ්ස් අවන්හලේ වැඩ කරන්නේ. ඇය පාසල් කටයුතු අවසන් වෙලා ඇගේ අර්ධ කාලීන රැකියාව කරනවා. පැයකට ඇයට ලැබෙනවා තායිලන්ත බාත් 23 යි ශත 75 ක් ඒ කියන්නේ ඇමෙරිකන් ඩොලර් සත 60 ක්. මගේ දියණිය තමයි පවුලේ බාලයා. ඇයට කිසි දෙයකින් අඩුවක් නැහැ. ඒත් මම කැමතියි ඇය ජීවිතේ අමාරුකම් තේරුම් අරන් ජීවත් වෙනවාට. ඇයට ඒක වැටහුණා. ඇයයි රැකියාව තෝරා ගත්තේ. මං ඇය ගැන ආඩම්බරයි.” තක්ෂින් ෂිනවාත්‍රා එදා මාධ්‍ය හමුවේ පැවැසුවේ, තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ලෙස නොව, ආදරණීය පියකු ලෙසය. අද ඔහුට ආඩම්බර වීමට තවත් හේතුවක් ඇත. මැක්ඩොනල්ඩ් අවන්හලේ පැයකට ඇමෙරිකන් ඩොලර් සත 60 කට රැකියාව කළ ඒ කෙල්ල අද තායිලන්ත අග්‍රාමාත්‍යවරියයි. තායිලන්ත දේශපාලනයේ දැවැන්තයන් ලෙස සැලෙකන ෂිනවාත්‍රා නාමය ඉදිරියට ගෙන යෑමට ඇය සමත් වී සිටින්නීය. 37 හැවිරිදි ඇය, තායිලන්තයේ ළාබාලතම අග්‍රාමාත්‍යවරිය ද වන්නීය.

“මා තීරණය කළා දැන් වෙලාව ඇවිල්ලා රට වෙනුවෙන් යමක් කරන්න. පක්ෂය වෙනුවෙන් යමක් කරන්න. මම බලාපොරොත්තු වෙනවා මට පුළුවන් උපරිමය කරන්න. රට ඉදිරියට ගෙනියන්න. ඒක කරන්නයි මම උත්සාහ ගන්නේ. මේ මොහොතේ, මම කියන්න ඕනෑ අග්‍රාමාත්‍යවරිය ලෙස එම ධුරයට මා සුදුසු යැයි තීරණය කිරීම ගැන මට ඇත්තේ ලොකු ගෞරවයක්. ඒ වගේමයි මට ඒක ලොකු සතුටක්.” තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරය බාර ගැනීමෙන් පසු, පේටොංග්ටෝන් ෂිනවත්‍රා පක්ෂ සාමාජිකයන් මෙන්ම තායිලන්ත වැසියන් ද අමතමින් පැවැසුවාය.

පේටොංග්ටෝන්, තායිලන්ත අග්‍රාමාත්‍යවරිය වීමේ දක්වා ආ ගමන එසේ මෙසේ එකක් නොවෙයි. පසුගිය සති දෙක තායිලන්ත දේශපාලනයේ අර්බුදකාරී කාල පරිච්ඡේදයක් විය. පළමුවෙන්, අධිකරණ තීන්දුවකට අනුව, තායිලන්ත දේශපාලනයේ වඩාත් ජනප්‍රිය පක්ෂය විසුරුවා හැරුණි. එහි නායකයන්ට දේශපාලනය තහනම් කෙරුණි. අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ශ්‍රෙතා තවිසින් ධුරයෙන් නෙරපා දැමුණි. එසේ වූයේ, ආචාර ධර්ම පිළිබඳ නීති උල්ලංඝනය කිරීම සහ අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එම පක්ෂයටත් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ශ්‍රෙතා තවිසින්ටත් චෝදනා එල්ල වීමෙන් පසුව අධිකරණ තීන්දුවට අනුවය.

ඒ අනුව, තායිලන්ත දේශපාලන අස්ථාවරත්වයක් සහ හිඩැසක් නිර්මාණය විය. පාර්ලිමේන්තුව රැස් වී, සාකච්ඡා පවත්වමින්, රට බාර ගන්නේ කුමන පක්ෂයද? අග්‍රාමාත්‍ය ධුරය හිමිවිය යුත්තේ කාටද? යන ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නට විය. නියෝජිත මන්ත්‍රී මණ්ඩල නියෝජිතයන් අතරේ ඡන්ද විමසුමක් පැවැත්විණි. එහිදී බහුතරයේ සහාය හිමිවූයේ ‘පූවාතායි' දේශපාලන පක්ෂයටය. ‘පූවාතායි' පක්ෂය තක්ෂින් ෂිනවාත්‍රාගේ දේශපාලන පක්ෂයයි. පේටොංග්ටෝන් නියෝජනය කරන පක්ෂයයි. පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත වූයේ අග්‍රාමාත්‍ය ධුරයට පේටොංග්ටෝන් සුදුසු බවය. ඒ අනුව, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ, බහුතර ඡන්දයෙන් ඇයට අග්‍රාමාත්‍ය ධුරය හිමිවිය.

තායිලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු දෙවැනි කාන්තාව පේටොංග්ටෝන් ෂිනවත්‍රාය. ඇගේ පියා බිලියනපති ව්‍යාපාරික තක්ෂින් ෂිනවාත්‍රා තායිලන්ත දේශපාලනයේ දැවැන්තයෙකි. 2001 සිට 2006 තෙක් කාලයේ තායිලන්තයේ අග්‍රාමාත්‍යවරයා වූයේ තක්ෂින්ය. හමුදා කුමන්ත්‍රණයකින් තක්ෂින් බලයෙන් නෙරපා දැමුණි. ඒත් ෂිනවාත්‍රා පවුල දිගටම, තායිලන්ත දේශපාලනයේ ආධිපත්‍යය පවත්වාගෙන යෑමට සමත් විය. 2008 දී තක්ෂින්ගේ මස්සිනා ඉතා කෙටි කාලයකට තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය. 2014 වසරේ, තක්ෂින්ගේ සොහොයුරිය යිංග්ලක් ෂිනවාත්‍රා තායිලන්ත අග්‍රාමාත්‍යවරිය වූවාය. යිංග්ලක්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූයේ අධිකරණ තීන්දුවකිනි.

ෂිනවාත්‍රා පවුලට සම්බන්ධ, එම පවුලේ අග්‍රාමාත්‍ය ධුරයට පත් සිවුවැනි සාමාජිකයා පේටොංග්ටෝන්ය. බොහෝ දෙනා ඇය හඳුන්වන්නේ අන්ග්-ඉන්ග් නමැති කෙටි නාමයෙනි. ඇය තායිලන්තයේත්, එක්සත් රාජාධානියේත් අධ්‍යාපනය ලබා ඇත. ඇය පවුලේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වී සිටින තැනැත්තියකි. අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමට පෙර, තක්ෂින් ෂිනවාත්‍රා තායිලන්ත විදේශ අමාත්‍ය ධුරය හොබවද්දී පේටොංග්ටෝන්ට අවුරුදු 8 කි. පියා ගියේ කොහේද ඇයට ද යෑමට සිදුවිය. ඇය ලෝකය දැක බලා ගත්තේ කුඩා කාලයේ සිටමය. හමුදා කුමන්ත්‍රණයකින්, තක්ෂින්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වෙද්දී පේටොංග්ටෝන්ට අවුරුදු 20 කි. හමුදාව රටේ බලය අල්ලා ගනිද්දී, ඇය සහ පවුලේ අයට ආරක්ෂිත නිවසක සැඟවීමට සිදුවිය. වයස අවුරුදු 22 දී, පියා තක්ෂින් තායිලන්තයෙන් පිටුවහල් වී, රටින් යනු ඇය බලා සිටියේ දුකෙනි. මේ සියලු සිදුවීම් සහ හැලහැප්පීම් ඇගේ ජීවිතයට පන්නරයක් වූ බව රහසක් නොවෙයි.

පේටොංග්ටෝන්, දේශපාලනයට පිවිසියේ 2021 ඇය ‘පූවාතායි' පක්ෂය සමඟ එක් වීමෙන් පසුවය. 2023 දී මැතිවරණයේ දී පූවාතායි පක්ෂය මෙහෙය වීම කළේ පේටොංග්ටෝන්ය. ඇය දේශපාලන රැලිවලට නායකත්වය දුන්නාය. ඒ වනවිට ඇය ගැබිනියකි. පේටොංග්ටෝන් විවාහ වී සිටින්නේ, ව්‍යාපාරිකයකු, දේශපාලනඥයකු සහ කලක් ගුවන් නියටමුවකු ලෙස ද කටයුතු කළ 42 හැවිරිදි පිටාකා සුක්සවාත් සමඟය. ඉතා වෙහෙසකර වුවත්, ගැබිනියකව සිටි පේටොංග්ටෝන් මැතිවරණ කටයුතු මෙහෙයවීම නතර කළේ නැත. ඇයට ඇගේ සැමියාගේ ආදරයත්, ශක්තියන් නොඅඩුව ලැබුණි. ඒත් 2023 මැතිවරණයෙන්, පූවාතායි පක්ෂයට මැතිවරණය ජය ගැනීමට හැකි වූයේ නැත. ඒත් අද, වසරක් ගතවෙද්දී, දෙදරු මවක ද වන පේටොංග්ටෝන්, තායිලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වී තිබේ.

තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරය බාර ගැනීම, එසේ මෙසේ කටයුත්තක් නොවන බව පේටොංග්ටෝන් දනී. ඇය ඇගේ පවුලේ කීර්ති නාමය රැකගත යුතුය. ෂිනවාත්‍රා පවුල දශක ගණනක් තායිලන්ත දේශපාලනයේ ආධිපත්‍යය පතුරුවා ඇතත්, 2023 මැතිවරණයෙන් පරාජය විය. මෙය ගැටලුවකි. දේශපාලනික වශයෙන් පේටොංග්ටෝන්ට, ෂිනවාත්‍රා පවුලට සහ ‘පූවාතායි' පක්ෂයට අඩුවක් නැතිව සතුරෝ සිටිති. තායිලන්ත හමුදා සාමාජිකයන්, තායිලන්ත රජුගේ හිතවාදීන් සහ විපක්ෂ දේශපාලන නායකයෝ ඒ අතරේ වෙති. ඊට අමතරව ව්‍යාපාරික ප්‍රතිවාදීහු ද වෙති. එහෙයින් ෂිනවාත්‍රා පවුලේ අභිමානය රැක ගැනීම පේටොංග්ටෝන් විසින් කළ යුතුය. අද තායිලන්ත ආර්ථිකය අර්බුදයකට ලක් වී තිබේ. 2023 මැතිවරණයේ දී පේටොංග්ටෝන් ප්‍රමුඛ පූවාතායි පක්ෂයට පරාජය වීමට හේතුවක් වූයේ ඔවුන් ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්ති ජනතාව ප්‍රතික්ෂේප කළ බැවිනි. දැන් අග්‍රාමාත්‍යවරිය ලෙස, ජනතා හිතවාදී, ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට හැකි ආකාරයේ ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමට පේටොංග්ටෝන් සහ ඇගේ රජයට සිදුවනු ඇත. ජනතා හිතවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුය. එමෙන්ම ඇය කල්පනාවෙන් කටයුතු කළ යුතුය. නැතිනම්, පේටොංග්ටෝන්ට වැඩි දවසක් බලයේ සිටීමට හැකිවන්නේ නැත. පියා තක්ෂින් ෂිනවාත්‍රාට සිදුවූ අයුරින්, හමුදාව ක්‍රමන්ත්‍රණය කර ඇය ගෙදර යවනු ඇත. නැතිනම්, අධිකරණ තීන්දුවකින් ඇයට බලය අහිමි වනු ඇත.


RECOMMEND POSTS