ජගත් මහ සමුළුවේදී පාකිස්තානය හුදෙකලා කරන්න ඉන්දියාව සැරැසෙයි



 

USA/India

ඉන්දියාවට අයත් කාශ්මීරයේ ‘යූරි’ හමුදා කඳවුරකට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තානය සිටින බවට චෝදනා කරමින්, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ආරම්භ වුණු එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී පාකිස්තානය හුදෙකලා කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සූදානමින් සිටී.

පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් සහ ඉන්දීය අගමැති මෝදි මහ සමුළුවට සහභාගී වීමටත්, සමුළුව ඇමැතීමටත් නියමිතය. පාකිස්තාන රජය ඉන්දියාවේ ක්‍රියාක්මක බෙදුම්වාදීන්ට පමණක් නොව, ලෂ්කාර් ඊ තයිබා වැනි ඉස්ලාමීය ත්‍රස්තවාදී කල්ලිවලට පවා අනුග්‍රහය ලබා දෙනවා යැයි ඉන්දීය රජය චෝදනා කරයි. මෙය ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශය විසින් ද එල්ල කර ඇති චෝදනාවකි.

ඉන්දු කාශ්මීරයේ පිහිටි ‘යූරි’ හමුද කඳවුරට එල්ල වුණු එම ප්‍රහාරයෙන් ඉන්දීය සොල්දාදුවෝ 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ප්‍රහාරය එල්ල වූයේ පසුගිය 17 වැනිදා පාන්දරය. ප්‍රහාරයට ඉස්ලාම් බෙදුම්වාදී ත්‍රස්තවාදීන් සිවු දෙනකු පැමිණි බව ද වාර්තා වේ. දශක දෙකකට පමණ පසු ඉන්දු කාශ්මීරයේ සිදුවුණු දරුණුතම ප්‍රහාරය මෙය යැයි ද පැවැසෙයි. කඳවුරට එල්ල වුණු එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ හමුදා සොල්දාදුවන්ගේ ගණන 30 කට වැඩිය.

ප්‍රහාරයෙන් පසු පාකිස්තානයට එරෙහිව කුමන ආකාරයක ක්‍රියා මාර්ගයක් ගත යුතුදැයි ඉන්දීය අගමැති මෝදි සහ ඇමැති මණ්ඩලය අතරේ සාකච්ඡා පැවැත් වුණු අතර ජගත් මහ සමුළුවේදී පාකිස්තානයට එරෙහිව හඬ නගා සෙසු ලෝක රටවල ද සහාය ලබා ගැනීමට ඉන්දියාව සූදානමින් සිටී.

‘යූරි’ හමුදා කඳවුරට එල්ල වුණු එම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව තමන්ට එල්ල කරන චෝදනා පදනම් විරහිත බවත්, පාකිස්තාන රජයේ අනුග්‍රහය ඉන්දු කාශ්මීරයේ බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම්වලට නොලැබෙන බවත් පාකිස්තාන රජය අවධාරණය කර ඇත. 

ජගත් මහ සමුළුවට සහභාගී වීමට නිව්යෝක් නුවරට පැමිණි පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අතරේ හමුවක් ද පැවැත් වුණු අතර, එහිදී කෙරී අගමැති ෂරීෆ්ට පවසා ඇත්තේ ත්‍රස්තවාදයට එරෙහි සටනට පාකිස්තානයෙන් ලැබෙන දායකත්වය අඩු බවය.

මේ අතර ඉන්දීය හමුදා තඳවුරට එල්ල වුණු එම ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද දැඩි විරෝධයක් පාකිස්තානයට එල්ල වී ඇතැයි ද පැවැසෙයි.


RECOMMEND POSTS