පොලිස් වෙඩි පහරින් කළු ජාතිකයෙක් මරුට
USA
සුදු ජාතික පොලිස් නිලධාරියකු කළ වෙඩි තැබීමකින් කළු ජාතිකයකු මියයෑමේ සිද්ධියක් මුල්කොට ගෙන, ඇමෙරිකාවේ උතුරු කැරොලිනාවේ චාර්ලොට් නුවර උණුසුම් විය.
සුදු ජාතික පොලිස් නිලධාරියකු තැබූ වෙඩි පහරින් මියගියේ කීනිත් ස්කොට් නමැති 43 හැවිරිදි අයෙකි. චාර්ලොට් පොලිසිය පවසන්නේ කීනිත් ස්කොට් ළඟ පිස්තෝලයක් තිබෙනු දැක ඔහුට වෙඩි තැබූ බවය.
ස්කොට් කඩිනමින් රෝහල් ගත කෙරුණු අතර ඔහු රෝහලේදී මියගියේය. වැටලීමක් කරද්දී, පොලිසිය පැමිණ ස්කොට්ට වෙඩි තබද්දී, ස්කොට් පොතක් කියවමින් සිටි බවත්, ඔහු ළඟ ගිනි අවි කිසිවක් නොතිබුණු බවත් ඔහුගේ ඥාතීහු පවසා ඇත.
එම වෙඩි තැබීමෙන් පසු, නගරයේ කළු ජාතිකයන් පමණක් නොව, සුදු ජාතිකයෝ ද එක් වී පොලිසියට එරෙහිව විරෝධතා රැලි ආරම්භ කළහ. එම විරෝධතා රැළිවලට දහසකට ආසන්න පිරිසක් සහභාගී වූහ. විරෝධතා උත්සන්න වීමත් සමඟ නගරයේ හදිසි නීතිය ක්රියාත්මක කිරීමට ජනපද ආණ්ඩුකාර පැට් මැක්රෝයි කටයුතු කළේය.
කලහකාරී පිරිස් නගරයේ කාර්යාල සහ කඩසාප්පුවලට පහර දී ගිනි තබන්න වූහ. ඔවුහු බස් රථ සහ මෝටර් රථවලට ද පහර දුන්හ. එම පිරිස් කඳුළු ගෑස් ප්රහාර එල්ල කරමින් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළ අවස්ථාාව්දී, කළු ජාතික තරුණයන් සහ පොලිස් නිලධාරීන් අතර ගැටුම් හටගත්තේය. එහිදී කැරැලි මර්දන පොලිස් නිලධාරියෙක් විරෝධතාකරුවකුගේ හිසට වෙඩි තැබුවේය. බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල් ගත කිරීමට කටයුතු කළේ විරෝධතාකරුවන් සහ පොලිසියේ එකමුතුවෙනි.
විරෝධතාකරුවන් කළ පහරදීම්වලින් පොලිස් නිලධාරීන් 13 දෙනකු තුවාල ලැබූ බව ද වාර්තා වේ. හිසට වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එම තරුණයා මේ වනවිට දිවි සුරැකුම් යන්ත්රයකට සම්බන්ධ කර සිටින බව ද වාර්තා වේ.
ඇමෙරිකාවේ කළු ජාතිකයන් චෝදනා කරන්නේ සුදු ජාතික පොලිස් නිලධාරීන් සැමවිටම තමන් දෙස බලන්නේ වපර ඇසින් බවය. කළු ජාතික තරුණයකු දුටු සැණින් ඔහු අපරාධකාරයකු යැයි සලකා සුදු ජාතික පොලිස් නිලධාරීහු වෙඩි තබති.
පසුගිය කාලයේ ඇමෙරිකාවේ නගර කිහිපයකම මෙලෙස කළ වෙඩි තැබීම්වලින් කළු ජාතික තරුණයෝ ජීවිතක්ෂයට පත් වූහ. පසුගිය සති තුනක කාලයේ ඔහියෝ ජනපදයේ 13 හැවිරිදි කළු ජාතික දරුවෙක් පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූයේය.
ඔක්ලහෝමා ජනපදයේ තුල්සා නුවර මොටර් රථයකින් ගමන් කරමින් සිටි නිරායුධ කළු ජාතිකයකුට පොලිසිය වෙඩි තැබුවේය. මෙම සිද්ධිය රිපබ්ලිකන් පාක්ෂික ජනපති ධුර අපේක්ෂක ඩොනල්ඞ් ට්රම්ප්ගේ ද විරෝධයට හේතුවක් විය.