රුසියානු මැතිවරණයෙන් පුටින්ගේ පක්ෂයට ජය



 

 

 

Russia

රුසියාවේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අද (19) නිකුත් කෙරුණු අතර, අනාවැකි පළ කළ අන්දමින්ම එයින් ජයග්‍රහණය කළේ ජනපති ව්ලැදිමීර් පුටින්ගේ පාලක ‘එක්සත් රුසියා’ පක්ෂය සහ ඊට සහාය පළ කරන දේශපාලන පක්ෂය.

ඊයේ උදෑසන වෙද්දී සියයට 50 ක ඡන්ද ප්‍රමාණයක් ගණන් කර අවසන්ව තිබුණු අතර, පුටින්ගේ ‘එක්සත් රුසියා’ පක්ෂයට සහ ඊට සහාය දක්වන පක්ෂවලට සියයට 44.5 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවී තිබුණි. මෙය පුටින් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් යැයි ද පැවැසෙයි.

රුසියාවේ මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2018 වසරේදීය. මෙම මහ මැතිවරණයෙන් පුටින් සහ ඔහුගේ පක්ෂය ලැබූ ජයග්‍රහණය, 2018 ජනපතිවරණයේ දී පුටින්ගේ ජය සහතික කරනු ඇතැයි රුසියානු දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

2018 වසරේ දී පුටින් සිවුවැනි වරටත් ජනපති ධුරයට පත් වීමට සූදානමින් සිටී.

රුසියානු මහ මැතිවරණය පැවැත් වූයේ ඉදිරි පස් වසරක කාලය සඳහා රුසියාවේ ‘දූමා’ පහළ මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් 450 දෙනකු තෝරා ගැනීමේ ගැනීමටය. පාර්ලිමේන්තු මැතිවරණය ඉකුත් 17 වැනිදා ආරම්භ වූයේ නැගෙනහිර රුසියාවට අයත් පළාත්වලිනි. පළමු ඡන්ද ප්‍රතිඵලය පෙරේදා රාත්‍රියේ නිකුත් කෙරුණි.

රුසියාවට පමණක් නොව, මුළු ලොවටම ශක්තිමත් නායකයකු බවට පත් වීමට ජනපති ව්ලැදිමීර් පුටින්ට හැකි වී ඇති අතර, ඔහු ජනතාව අතරේ පැසැසුමට ලක් වී සිටින බව මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනී යන බව ද වාර්තා වේ.

මෙම මහ මැතිවරණය පැවැත් වූයේ රුසියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ මානව ක්‍රියාකාරීන් දැඩි ලෙස මර්දනය කරන බවට ද පුටින්ට චෝදනා එල්ල වී ඇති අවස්ථාවකය.


 


RECOMMEND POSTS