බ්‍රිතාන්‍ය නව අගමැතිනිය



ඇයට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ එලිසබැත් මහ රැජිනගේ අභාවයට දින කීපයකට පෙරය. මහ රැජිනගේ අවසන් නිල රාජකාරිය වූයේ ඇයට අග්‍රාමාත්‍ය ධුරය සඳහා අදාළ පත්වීම බාරදීමය. මාග්‍රට් තැචර් සහ තෙරේසා මේ ගෙන් පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණු තෙවැනි කාන්තාව ඇයයි. ඇය 47 හැවිරිදි එලිසබත් 'ලිස්' ට්‍රස්ය.

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයා හෝ නායිකාවටය. බ්‍රිතාන්‍යයේ බලයේ සිටින්නේ ‘කොන්සවර්ටිව්’ පක්ෂයයි. ලිස් ට්‍රස්, අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ මහජන ඡන්දයකින් නොව, ‘කොන්සවර්ටිව්’ පක්ෂයේ නායකත්වය වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමකිනි.

ලිස් ට්‍රස්ගේ ප්‍රතිවාදියා වූයේ 42 හැවිරිදි ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනාක්ය. සුනාක් පක්ෂ නායකත්වයට පත් වී අග්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ නම් එය වෙනස්ම කතාවකි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ඉන්දීය සම්භවයක් ඇති තැනැත්තා ඔහු වීමට ඉඩ තිබුණි. ඒත් එය එසේ නොවිණි.

‘කොන්සවර්ටිව්’ පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වූයේ පක්ෂ සාමාජිකයන්ගේ අප්‍රසාදයට ලක් වුණු පක්ෂ නායක මෙන්ම අග්‍රාමාත්‍යවරයා ද වූ බොරිස් ජොන්සන් ට ඒ ධුර දෙකම අහිමි වූ බැවිනි. එසේ වූයේ ‘කොරෝනා’ වසංගතය පැවැති සමයේ බොරිස් ජොන්සන් අවස්ථා කීපයකදී සෞඛ්‍ය අංශ පැනැවූ තහංචි උල්ලංගනය කරමින් රහසේ මධුවිත සාද පැවැත්වීමය.

පක්ෂ අභ්‍යන්තරයෙන් එල්ල වූ දැඩි විරෝධය මැද ජොන්සන් පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉවත් විය. පක්ෂ නායකත්වය වෙනුවෙන් ලිස් ට්‍රස් සහ සුනාක් අතර අවසන් වටයේ පැවැති ඡන්ද විමසුමින් ලිස් ට්‍රස්, සුනාක් අබිබවා යමින් ජයග්‍රහණය කළාය. පක්ෂ නායකත්වයට පත් වී, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හිමිවුණු මාග්‍රට් තැචර් සහ තෙරේසා මේ යන දෙදෙනා ද ලිස් ට්‍රස් මෙන්ම ‘කොන්සවර්ටිව්’ සාමාජිකයන්ය.

ලිස් ට්‍රස් උපත ලැබුවේ ඔක්ස්ෆර්ඩ්හිදීය. මව සහ පියා ස්කොට්ලන්තයට පදිංචිය මාරු කරද්දී ලිස්ගේ වයස අවුරුදු 4 කි. න්‍යෂ්ටික අවි එපා කියමින් ඊට විරෝධතා දැක්වූ රැලිවලට තමන් ද තම මවගේ අතේ එල්ලී සහභාගී වූ බව ලිස් ට්‍රස් පසු කාලයකදී පවසා තිබේ. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබද්දී, ඇට ලිබරල් ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වූවාය. ඇය ‘කොන්සවර්ටිව්’ සාමාජිකාවක ලෙස පරිවර්තනය වූයේ විශ්ව විද්‍යාලයේ සිටි කාලයේය.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වීමෙන් පසු ආර්ථික විශේෂඥවරියක ලෙස ලිස් ට්‍රස් ‘ෂෙල් ඇන්ඩ් කේබල්’ සමාගමේ රැකියාව කරන්නට වූවාය. 2000 දී ඇය විවාහ වූයේ ගණකාධිකාරවරයකු වන හියු ඕ ලැරී සමඟය. ලිස් ට්‍රස්ට සිටින්නේ යොවුන් දියණියන් දෙදෙනෙකි.

ලිස් ට්‍රස් පරිණත දේශපාලනඥයෙකි. ඩේවිඩ් කැමරන් අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී, ඔහු ඇයට පරිසර කටයුතු ලේකම් (ඇමැති) ධුරය පිරිනැමුවේය. තෙරේසා මේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කරද්දී ලිස් ට්‍රස් බ්‍රිතාන්‍ය අධිකරණ ලේකම් (ඇමැති) වරියයි. පක්ෂ නායකත්ව සටනට ඉදිරිපත් වෙද්දී ඇය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ රජයේ විදේශ ලේකම් (විදේශ ඇමැති) ලෙස කටයුතු කළාය.

දේශපාලන විචාරකයන් බොහෝ දෙනකු ලිස් ට්‍රස්, සමාන කරන්නේ මාග්‍රට් තැචර්ටය. ලිස් ට්‍රස් මෙයට අකමැතිය. ‘ඇත්තටම මං කැමැති නැහැ එහෙම කියනවාට. මං කැමැතියි මං විදියට ඉන්න. කාටවත් සමාන වෙන්න මං කැමැති නැහැ.’ අවුරුදු නවයේදී ලිස් ට්‍රස් පාසලේ විනෝදයට පැවැති ඡන්ද විමසුමකදී මාග්‍රට් තැචර් ලෙස ඊට ඉදිරිපත් වූවාය. එම ‘බොරු‘ ඡන්ද විමසුමේදී මාග්‍රට් තැචර් වූ ඇයට ඡන්ද කිසිවක් ලැබුණේ නැත. ‘ඇත්ත, එදා මං මටවත් ඡන්දය දුන්නේ නැහැ’ යැයි ලිස් ට්‍රස් වරක් පවසා තිබුණි.

ලිස් ට්‍රස් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වන්නේ රට ආර්ථික වශයෙන් අර්බුදයකට ලක් වී ඇති මොහොතකය. රටේ උද්දමනය ඉහළ ගොස් ඇත. අප්‍රේල් මාසයේ ක්‍රියාවට නැංවූ ජාතික රක්ෂණය කප්පාදු කිරීම ඇතුළු ජීවන වියදම් අඩු කිරීමට විශේෂ ක්‍රියා මාර්ග රැසක් අනුගමනය කිරීමට ලිස් ට්‍රස් ප්‍රතිඥා දී තිබේ.

ලිස් ට්‍රස්, බ්‍රික්සිට් ක්‍රියාවලියට විරෝධය දැක්වූ තැනැත්තියකි. බ්‍රික්සිට් යනු බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් වීමය. මුලදී බ්‍රික්සිට් ක්‍රියාවලියට තදින් විරෝධය දැක්වූවත් ලිස් ට්‍රස් පසුව එය අනුමත කරන්නට වූවාය. මහා බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත් වීම බ්‍රිතාන්‍යයේ යහපතට හේතුවක් බව ලිස් ට්‍රස් පවසන්න වූවාය.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS