පාෂාණ ග්‍රහයන් 3 ක් !
හවායි දූපත්වල පිහිටි ජෙමිනි දුරේක්ෂය ආධාරයෙන්, විශ්වය ගවේෂණය කරන තාරකා විද්‍යාඥයන්ට පසුගිය දා සංඥාවක් ලැබුණි. මෙය ගුවන් විදුලි සංඥාවකි. එම සංඥා අනුව, ඒ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු සොයා බලද්දී, පෘථිවියට සමාන ග්‍රහලෝක තුනක් ගැන විස්තර සොයා ගැනීමට විද්‍යාඥයෝ සමත් වූහ. මේ ග්‍රහලෝක ඇත්තේ පෘථිවියට ආසන්නයෙන් පිහිටි තරුවක් වටාය.
අපගේ සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නයෙන්ම ඇති තාරකා පද්ධතිය කුමක්දැයි ඇසුවොත්, ඊට පිළිතුර ඇල්ෆා සෙන්චූරිය. මේ තාරකා පද්ධතිය තුළ ප්‍රධාන වශයෙන් තාරකා තුනක් ඇත. එම තාරකා තුන නම්, ඇල්ෆා සෙන්චූරි ඒ, බී, සහ සී ආදී වශයෙනි. ඇල්ෆා සෙන්චූරි ඒ යන නමින් හැඳින්වෙන්නේ රිගිල් කෙන්ටෝරස් තාරකාවය. ඇල්ෆා සෙන්චූරි බී යනුවෙන් හැඳින්වෙන්නේ ටොලිමාන් නමැති තාරකාවය. ඇල්ෆා සෙන්චූරි සී යනු ප්‍රොක්සිමා සෙන්චූරි නමැති තාරකාවය. මෙය රතු වාමන තාරකාවකි.
මෙම තාරකා අතරින් ද පෘථිවියට ආසන්නයෙන් පිහිටි තාරකාව ලෙස සැලකෙන්නේ ප්‍රොක්සිමා සෙන්චූරි රතු වාමන තාරකාවය. මෙය පෘථිවියට ආසන්න තාරකාව වුවත්, ප්‍රොක්සිමා සෙන්චූරි තාරකාව අපට පියවි ඇසට නොපෙනෙයි. ඊට හේතුව රතු වාමන තාරකාවක් බැවින්, එය ප්‍රමාණයෙන් ඉතා කුඩා අභ්‍යවකාශ වස්තුවක් වීමය.
මෙම තාරකා ත්‍රිත්වය අඩංගු ඇල්ෆා සෙන්චූරි තාරකා පද්ධතිය පසු කර ආලෝක වර්ෂ හයක පමණ දුරක් යද්දී, බර්නාඩ් නමින් විද්‍යාඥයන් නම් කළ තවත් රතු වාමන තාරකාවක් පිහිටයි. මෙය පෘථිවියට ආසන්නතම දෙවැනි රතු වාමන තාරකාව වෙයි. ඇල්ෆා සෙන්චූරි පද්ධතියේ, තාරකා තුනෙන් පසු සිවු වැනි ස්ථානයේ, පෘථිවියට ආසන්නයෙන් පිහිටි තරුව ලෙස සැලකෙන්නේ ද බර්නාඩ්ය. අවාසනාවට මෙම තාරකාව ද පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකිය.
විශ්වය ගවේෂණය කරන තාරකා විද්‍යාඥයන්ට, ගුවන් විදුලි සංඥා ලැබෙන්න වූයේ බර්නාඩ් තාරකාව අසලිනි. එම සංඥා වැඩි දුර අධ්‍යයනය කිරීමේ දී, බර්නාඩ් තාරකාව වටා කක්ෂගත වුණු පාෂාණමය ග්‍රහලෝක තුනක් සොයා ගැනීමට විද්‍යාඥයෝ සමත් වූහ. මීට වසර කීපයකට පෙර ද බර්නාඩ් තාරකාව වටා යන පාෂාණමය ග්‍රහලෝකයක් සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකිවී තිබුණු බැවින්, මේ අනුව මෙෙතක් සොයා ගෙන ඇති ග්‍රහලෝක ගණන 4 ක් බවට පත් විය. මෙම ග්‍රහලෝක සියල්ල පෘථිවියට බෙහෙවින් සමාන බව පැවැසෙයි. මෙම ග්‍රහලෝක හතරම පාෂාණමය ග්‍රහලෝක වීම සැබැවින්ම මවිතයට කරුණකි.
රතු වාමන තාරකා යනු ප්‍රමාණයෙන් ඉතාමත් කුඩා තාරකා විශේෂයකි. මේවා කොතරම් කුඩාදැයි කීවොත්, මේවායේ විෂ්කම්භය ආසන්න වශයෙන් කිලෝ මීටර් එක් ලක්ෂ හතලිස් දහසේ සිට, කිලෝ මීටර් අට ලක්ෂයක් පමණ වෙයි. අපගේ හිරු නැතිනම් සූර්යයාගේ විෂ්කම්භය කිලෝ මීටර් මිලියන 1.3 ක් පමණ වෙයි. ආසන්න වශයෙන් රතු වාමන තාරකාවක විෂ්කම්භය, අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය වන බෘහස්පතිගේ විෂ්කම්භය මෙන් මෙන් සුළු ප්‍රමාණයකින් පමණක් වැඩි වෙයි.
බර්නාඩ් තාරකාව පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ හයක් පමණ දුරිනි. එය ඇත්තේ රාත්‍රී අහසේ දකින්න ලැබෙන ඔෆියුචස් නමැති තාරකා රාශිය තුළය. බර්නාඩ් තාරකාව නිරීක්ෂණය කළ හැකි වන්නේ දුරේක්ෂයකින් පමණි. විද්‍යාඥයන් පවසන ආකාරයට බර්නාඩ් තාරකාව අපගේ සූර්යයාට වඩා පැරණිය. කොතරම් පැරණිදැයි කීවොත්, අවුරුදු බිලියන 10 ක පමණ ආයු කාලයක්, මෙම බර්නාඩ් තාරකාවෙන් වාර්තා වෙයි.
විද්‍යාඥයන් මෙම නව ග්‍රහලෝක සොයා ගැනීම කර ඇත්තේ හවායි දූපත්වල පිහිටි ජෙමිනි දුරේක්ෂයේ මැක්රූන් එක්ස් උපාංගයේ ආධාරයෙනි. තරුවක් වටා ඇති ග්‍රහලෝකයක් එම තරුව පසුබිම් කර ගෙන යද්දී, තරුවෙන් විහිදෙන ආලෝකයේ වෙනස්වීම් හඳුනා ගැනීමට දුරේක්ෂවලට හැකියාව ලැබේ. අලුත් ග්‍රහයන් සොයා ගැනීම සිදුවන්නේ මේ අයුරිනි. ලැබුණු සංඥාවල මූලාරම්භය සොයමින්, ජෙමිනි දුරේක්ෂයේ මැක්රූන් එක්ස් උපාංගය භාවිතයට ගනිමින්, නිරීක්ෂණය කරද්දී, බර්නාඩ් තරුවේ චලිතයෙහි වෙනස්වීම් විද්‍යාඥයෝ නිරීක්ෂණය කළහ. ඒ අනුව, නව ග්‍රහලෝක තුන සොයා ගැනුණි.
කෙසේ නමුත් මෙම මීට පෙර සොයාගත් ග්‍රහලෝකයේත්, අලුතින් සොයාගත් මෙම ග්‍රහලෝකයේත් පැවැත්ම කුමක්දැයි මෙතෙක් දන්නේ නැත. බොහෝ විට, මෙම ග්‍රහලෝකවල අපටත් වඩා දියුණු ජීවීන් සිටිනවා වෙන්නත් පුළුවනි. ඒත් පෘථිවියේ මෙන් ජීවීන්ගෙන් සමන්විත ශිෂ්ටාචාර බිහිවීමක් සිදුවෙන බවක් සිතීම ගැටලුවකි.
තාරකා විද්‍යාඥයන්ට අනුව ග්‍රහලෝකයක ජීවය පැවැතිය හැකි යැයි අනුමාන කරන්නේ, හම ග්‍රහලෝකය ගෝල්ඩිලොක්ස් කලාපයට අයත් නම් පමණි. තරුවකට වඩාත් ළංව පිහිටියොත්, එම ග්‍රහයාගේ උෂ්ණත්වය වැඩිය. තරුවකට දුරින් පිහිටියොත් සීතල වැඩිය. උණුසුම සහ සීතල දෙකම ඇතිව නියමිත සමාන දුරකින් පිහිටන්නේ නම් එවැනි ග්‍රහයන් පිහිටන කලාපය ගෝල්ඩිලොක්ස් කලාපය ලෙස හැඳින්වෙයි.
අභ්‍යවකාශයේ රඳවා ඇති දුරේක්ෂ ආධාරයෙන් ද විද්‍යාඥයන් පෘථිවියට සමාන ග්‍රහලෝක සෙවීම සිදු කරයි. 2018 දී අභ්‍යවකාශයට යැවුණු ‘ටෙස්’ ඒ අතරින් එක් දුරේක්ෂයකි. 1990 දී අභ්‍යවකාශයට යවා, අවස්ථා කීපයකදී, අලුත්වැඩියා කළ තවමත් ක්‍රියාකාරීව පවතින ‘හබල්’ දුරේක්ෂය, 2021 දී අභ්‍යවකාශයට යැවුණු ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය ද විශ්වයේ ඈතින් ඇති ග්‍රහලෝක සෙවීම නොකඩවා සිදු කරයි. මේ සෑම දුරේක්ෂයකින්ම අප සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඇති පිටසක්වළ ග්‍රහලෝක 5,000 කට වැඩි ගණනක් සොයා ගැනීම කර තිබේ. පෘථිවියට සමාන ග්‍රහලෝක සෙවීමේ දී කැපී පෙනෙන මෙහෙවරක් කළේ, 2009 දී අභ්‍යවකාශයේ රැඳවූ ‘කෙප්ලර්’ දුරේක්ෂයයි. අද මෙම දුරේක්ෂය භාවිතයට ගැනෙන්නේ නැත. 2018 වසරේ ‘කෙප්ලර්’ දුරේක්ෂයේ කටයුතු අවසන් විය. තරුවක් වටා ඇති ග්‍රහලෝකයක් එම තරුව පසු කර ගෙන යද්දී, තරුවෙන් විහිදෙන ආලෝකයේ වෙනස්වීම් හඳුනා ගැනීමට අභ්‍යවකාශ දුරේක්ෂවලට හැකියාව ඇත. නව ග්‍රහලෝක සොයා ගැනීම ඒ අනුව සිදුවෙයි.
ග්‍රහලෝකවලින් ගුවන් විදුලි සංඥා නිකුත් වීම අරුමයක් නොවෙයි. එයින් අදහස් වන්නේ එම ග්‍රහලෝකවල දියුණු පිටසක්වළයින් සිටිනවා සහ එම දියුණු පිටසක්වළයන් පණිවුඩ එවනවා යන්න නම් නොවෙයි. ග්‍රහලෝකවලින් ගුවන් විදුලි සංඥා නිකුත් වීම ස්වභාවික ක්‍රියාවලියකි. ග්‍රහලෝකවල චුම්බක ක්ෂේත්‍ර ඇති නම්, එම චුම්බක ක්ෂේත්‍ර ආරෝපිත අංශු සමඟ අන්තර්ක්‍රියා කරන විට ගුවන් විදුලි තරංග නිකුත් වේ. බොහෝ ග්‍රහලෝකවල ආරෝපිත අංශු වලින් සමන්විත වායුගෝල ස්තර හෙවත් අයනගෝල ඇති අතර, මේවායින් ද ගුවන් විදුලි තරංග නිකුත් කෙරේ. ග්‍රහලෝක තාරකා සමඟ අන්තර්ක්‍රියා කරන විටද ගුවන් විදුලි තරංග නිකුත් වෙයි. මෙම ගුවන් විදුලි සංඥා අධ්‍යයනය කිරීමෙන් විද්‍යාඥයන් ග්‍රහලෝකවල සංයුතිය, චුම්බක ක්ෂේත්‍ර සහ වායුගෝල පිළිබඳ වටිනා තොරතුරු ලබා ගනී. බර්නාඩ් තාරකාව වටා ගමන් කරන ග්‍රහලෝක ගැන විද්‍යාඥයන්ට තොරතුරු ලැබුණේ ද එලෙසිනි.
ස්තුතිය - නාසා ආයතනයට