ඊශ්‍රායල හමුදා යළිත් ගාසාවට පහර දෙයි



ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, ගතවුණු පැය 24 ක කාලයේ, ඊශ්‍රායල හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාර, ආරම්භයක් පමණක් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැවැසීය.

ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ ස්ථාන කීපයකට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියෝ 404 ක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය 404 දෙනාගෙන් වැඩි දෙනා කුඩා දරුවන් බව ද පැවැසෙයි. ඊශ්‍රායල හමුදා එල්ල කළ එම ගුවන් ප්‍රහාරවලින් තුවාල ලැබූ ගණන 560 කි.

ඊශ්‍රායල හමුදා ගුවන් ප්‍රහාර එල්ල කළේ ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටා ඇති ඛාන් යූනිස් නගරයටත්, රාෆා නගරයටත්, උතුරු දෙසින් පිහිටි ගාසා සිටී නගරයටත්ය.

ඇමෙරිකාවේ ද මැදිහත් වීමෙන්, ඊහ්‍රායල රජය සහ හමාස් සංවිධානය අතරේ සටන් විරාමයක් ඇරැඹිණි. ඒ, පසුගිය ජනවාරි 19 වැනිදා සිටය. එම සටන් විරාමය සති කීපයක් පැවැති අතර, හමාස් ප්‍රාණඇපයේ සිටින ඊහ්‍රායල වැසියන් කිහිප දෙනකුට නිදහස ලැබුණි. ඊට සමගාමීව, ඊශ්‍රායලයේ බන්ධනාගාරවල සිරකරුවන් වූ පලස්තීන සිරකරුවන් දහස් සිය ගණනකට නිදහස හිමිවිය.

එම සටන් විරාමය අතරතුරේ, හමාස් සංවිධානය යළි ශක්තිමත් වූ බවට ඊශ්‍රායල ය චෝදනා කරයි. මේ අතර, ඊශ්‍රායලයට සම්පූර්ණ වශයෙන් සහාය දක්වන බවට ප්‍රතිඥා දී සිටින ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හමාස් සංවිධානයට අනතුරු අඟවා ඇත්තේ, හමාස් ප්‍රාණඇපයේ සිටින ඉතිරි සියලුම ප්‍රාණඇපකරුවන්ට නිදහස ලබා දිය යුතු බවය. මේවනවිට ප්‍රාණඇපකරුවෝ 59 දෙනකු හමාස් සංවිධානයේ ප්‍රාණඇපයේ සිටිති.

ඊශ්‍රායල ජනාධිපති බෙන්ජමින් නෙදන්යාහුගේ අණ පරිදි, ඊශ්‍රායල හමුදාව යළිත් වරක් ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත දිගට හරහට පහර දෙන්නේ, ඇමෙරිකන් බුද්ධි අංශවල ද සහාය ඇතිවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS