සෝවියට් යානය ආපසු පොළොවට
සෝවියට් සංගමය, (අතීතයේ රුසියාව) 1972 දී සිකුරු ග්‍රහලෝකය ගවේෂණය සඳහා රොබෝ යානා දෙකක් යැවීමට සැලසුම් කළේය. එයින් එකක් වෙනෙරා 8 යානයයි. එම යානය, ඉතා සාර්ථකව සිකුරු ග්‍රහලෝකයට ගොස් ගවේෂණ කටයුතු සිදු කළේය.
අනෙක් රොබෝ යානය කොස්මොස් 482 ය. මෙම යානා දෙකම අභ්‍යවකාශයට විදීම සිදු කළේ සෝයූස් රොකට්ටු ආධාරයෙනි. කෙසේ නමුත්, ‘කොස්මොස් 482’ රැගත් සෝයූස් රොකට්ටුවේ දෝෂයක් හටගත් බැවින්, ‘කොස්මොස් 482’ ගවේෂණ යානයට පෘථිවි කක්ෂය පසු කර යෑමට හැකි වූයේ නැත. එය පෘථිවි කක්ෂයේ සිරවී පා වෙන්න විය. එය අඩසියවසකට වැඩි කාලයක්, අවුරුදු 53 ක් තිස්සේ පෘථිවි කක්ෂයේ පාවෙමින් තිබුණි.
පසුගිය දා ‘කොස්මොස් 482’ ගවේෂණ යළ පෘථිවියට කඩා වැටුණි. යානය, ඉන්දුනීසියාවට ඔබ්බෙන්, ඉන්දීය සාගරයට පතිත වන්න ඇතැයි, යානය ගැන විමසිල්ලෙන් පසුවුණු යුරෝපා අභ්‍යවකාශ ආයතනය පැවැසීය. අවුරුදු 53 කට පසු ‘කොස්මොස් 482’ සෙමින් සෙමින් පහළට පැමිණෙන බවත්, එය පෘථිවියට කඩා වැටීමට නියමිත බවත් යුරෝපා අභ්‍යවකාශ ආයතනය අනතුරු ඇඟවීම් කර තිබුණේ මීට සති දෙකකට පමණ පෙර සිටිය.
‘කොස්මොස් 482’ යානය, ඉකුත් 11 වැනිදා පෘථිවි වායුගෝලයට ඇතුළු වී ඉන්දීය සාගරයට පතිත වූ බව පැවැසිණි. කෙසේ නමුත් යානය හරියටම පතිත වූ ස්ථානය අනාවරණය කර ගැනීමට විද්‍යාඥයන්ට මෙතෙක් හැකියාව නොලැබුණි. සෝවියට් විද්‍යාඥයන්, ‘කොස්මොස් 482’ යානය, නිර්මාණය කර තිබුණේ සිකුරු ග්‍රහයාගේ මතුපිටට ගොඩබෑමටය. සිකුරුගේ වායුගෝලය පෘථිවි වායු ගෝලයට වඩා අධික තාපයකින් යුක්තය. ඒ අනුව, විද්‍යාඥයන් අනුමාන කරන්නේ, පෘථිවි වායු ගෝලය හරහා ඉන්දීය සාගරයට පතිත වූ රොබෝ යානය සම්පූර්ණයෙන් විනාශ නොවන්න ඇති බවය.
නිරවි යුද සමයේ සෝවියට් අභ්‍යවකාශ වැඩසටහන සැබැවින්ම මානව ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයකි. අභ්‍යවකාශ ගවේෂණයේ පුරෝගාමී වැඩසටහනක් බව ද කිව යුතුය. ඇමෙරිකාව සමඟ කරටකර ගැටෙමින්, පළමු වරට අභ්‍යවකාශ ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සෝවියට් සංගමය සමත් විය. 1950 අග භාගයේ සිට 1991 දී සෝවියට් සංගමය බිඳවැටෙන තෙක් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. අද අභ්‍යවකාශ කටයුතු සිදු කරන්නේ රුසියාවය.
සෝවියට් සංගමයේ අභ්‍යවකාශ වැඩසටහනේ ආරම්භය 1957 ඔක්තෝබර් 4 වන දින ස්පුට්නික් 1 චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමත් සමඟය. මෙය පෘථිවි කක්ෂයට යැවූ පළමු කෘතිම චන්ද්‍රිකාවය. ඇමෙරිකාවත් සෝවියට් සංගමයත් අතරේ අභ්‍යනකාශය ජය ගැනීමේ තරගය ආරම්භ වූයේ ඒ අනුවය. එය අවසන් වූයේ ඇමෙරිකාවේ නාසා ආයතනය සඳ ජය ගැනීමත් සමඟය.
සෝවිට් සංගමය, අභ්‍යවකාශ ගවේෂණයේ සන්ධිස්ථාන රැසක් අත්පත් කරගත්තේය. 1957 නොවැම්බර් මාසයේදී ඔවුහු ස්පුට්නික් 2 යානයෙන් ලයිකා නම් බැල්ල අභ්‍යවකාශයට යැවීමට සැලැස්වීය. අභ්‍යවකාශයට ගිය පළමු ජීවියා ලෙස සැලකෙන්නේ ලයිකා ය. 1961 අප්‍රේල් 12 දා යූරි ගගාරින් වොස්ටොක් 1 අභ්‍යවකාශ යානයෙන් පෘථිවි කක්ෂයට ගිය පළමු මිනිසා බවට පත්විය. එය මානව වර්ගයාගේ අභ්‍යවකාශ ගමනේ තීරණාත්මක මොහොතක් ලෙස සැලකෙයි. එපමණක් නොව, සෝවියට් අභ්‍යවකාශ වැඩසටහන කාන්තා අභ්‍යවකාශගාමීන් සම්බන්ධයෙන් ද පෙරමුණ ගත්තේය. 1963 ජූනි 16 වන දින වැලන්ටිනා ටෙරෙෂ්කෝවා වොස්ටොක් 6 යානයෙන් අභ්‍යවකාශයට ගිය පළමු කාන්තාව බවට පත්වූවාය.
සඳ වෙත ළඟාවීමේදී ඇමෙරිකාව ඉදිරියෙන් සිටියද, සෝවියට්වරු අභ්‍යවකාශ ගවේෂණයේ තවත් බොහෝ ක්ෂේත්‍රවල සාර්ථකත්වය අත්කර ගත්හ. පළමුවෙන් සාර්ථකව රොබෝ යානා සිකුරුටත්, අඟහරුටත් යැවීමට සමත් වූහ. සැල්යුට් සහ මීර් යනු සෝවියට් විද්‍යාඥයන් පෘථිවි කක්ෂයේ රැඳවූ අභ්‍යවකාශ නැවතුම්පොළය. මීර් වසර 15ක් පෘථිවි කක්ෂයේ රැඳී පැවැතිණි. සෝවියට් අභ්‍යවකාශ වැඩසටහනේ සාර්ථකත්වයට බොහෝ දක්ෂ විද්‍යාඥයින්, ඉංජිනේරුවන් සහ තාක්ෂණවේදීන්ගේ දායකත්වය ලැබිණි. සර්ගේ කොරොලෙව් මෙම වැඩසටහනේ ප්‍රධාන නිර්මාණකරු ලෙස සැලකෙයි. ඔහුගේ නායකත්වය යටතේ සෝවියට්වරු අභ්‍යවකාශ ගවේෂණයේ බොහෝ පෙරමුණු ජය ගත්හ.
බීබීසී ඇසුරිනි