අලුත් ඩයිනසෝරයා ඩියුනයිකස්



පොසිල විද්‍යාඥයන්ට, අලුත් විදියේ ඩයිනසෝරයෙක් හමුවිය. මේ සටහන සමඟ ඇත්තේ පොසිල සාක්ෂි ඇසුරින් විද්‍යාඥයන් පරිගණකයෙන් නිර්මාණය කළ එම ඩයිනසෝරයාගේ නියපොතු සහ උගේ පෙනුමය. මේ නියපොතු දුටු සැණින්, ඔබට සිතේවි, මේ ඩයිනසෝරයා මහා නපුරු විලෝපිකයෙකු බව. ඒත් එය එසේ නොවෙයි.

මෙම නව ඩයිනසෝරයා, ජිරාෆ් සතකු වැනිය; දැවැන්ත ස්ලොත් (මන්දයා) සතකු වැනිය. පොසිල විද්‍යාඥයන් මේ දැවැන්තයාගේ අස්ථි කොටස් මතු කර ගත්තේ, මොංගෝලියාවේ සිදු කළ කැණීම්වලිනි. මොංගෝලියාවේ ගෝබි කාන්තාරය අද කර්කෂ වුවත්, අතීතයේ නොයෙක් විදියේ ඩයිනසෝරයන්ට නිවහන වූ සශ්‍රීක ප්‍රසේශයකි. අතීතයේ මෙය වැසි වනාන්තරයක් යැයි විද්‍යාඥයන්ගේ අදහසය. පොසිල විද්‍යාඥයන් අපූරු විදියේ සොයා ගැනීම් රැසක් ගෝබි කාන්තාරය ආශ්‍රිතව සිදු කරයි. මෙම සොයා ගැනීමත් එවැනි එකකි.

විද්‍යාඥයන්ට, කැණීම් කරද්දී මේ ඩයිනසෝරයාගේ ඇඟිලි සහ නියවල සම්පූර්ණ පොසිල අස්ථි හමුවීම සුවිශේෂී ලෙස වැදගත් වෙයි. මේ සත්වයා නව ඩයිනසෝර විශේෂයකට අයත් බව අවබෝධ කර ගැනීමට විද්‍යාඥයන්ට එය උදව්වක් වී ඇති බව පැවැසෙයි. කෙරටීන්වලින් නිර්මාණය වූ නිය සෙසු අස්ථිවලින් වෙන්කොට හඳුනා ගැනීමට විද්‍යාඥයන්ට පහසු විය. එදා මෙදා පොසිල විද්‍යාඥයන්ට හමුවුණු, ඉතාමත් හොඳින් සුරැකුණු ඩයිනසෝර නිය ලෙස මෙම පොසිලකරණයට ලක්වුණු නිය සැලකෙයි. මෙම ඩයිනසෝරයාගේ සොයා ගැනීමට සම්බන්ධ, කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක වන පොසිල විද්‍යාඥ ඩාර්ලා සෙලෙනිට්ස්කි ඒ ගැන ඉතාමත් සතුටින් අදහස් පළ කරයි. මේ ඩයිනසෝරයාගේ නිය අඩියක් පමණ දිගින් යුක්තය.

මොංගෝලියානු පාෂාණ විද්‍යාඥ කිෂිග්ජාව් ට්සොග්ට්බාටාර්ට ගෞරවයක් වශයෙන්, නව ඩයිනසෝරයා ඩියුනයිකස් ට්සොග්ට්බාටාරි (Duonychus Tsogtbaatari) යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වීමට විද්‍යාඥයන් තීරණය කර ඇත. ඩියුනයිකස් යනු ග්‍රීක වදනකි. එහි සරල අරුථ නියපොතු දෙකක් යන්නය. අලුතින් සොයාගත් මෙම ඩියුඔනිචස් ට්සොග්ට්බාටාරි, තීසියෝසෝරස් (Therizinosaurs) නමැති ඩයිනසෝරයාගේ ඥාතියෙකි. පෙනුමින් ද සමානය. තීසියෝසෝරස් අයත් වන්නේ ඩයිනසෝර ලොවේ රජු වන ටයිරැනසෝරස් රෙක්ස් හෙවත් ටී රෙක්ස් ද අයත් වන තෙරපොඩ් වර්ගයේ පසුපස ගාත්‍රාවලින් නැතිනම් පාදවලින් ඇවිද ගිය ඩයිනසෝරයන් අතරටය.

නියපොතුවලින් නපුරු පෙනුමක් දකින්න ලැබුණත්, ඩියුනයිකස් ට්සොග්ට්බාටාරි නපුරු විලෝපිකයෙකු නොවන බවත්, මෙම ඩයිනසෝරයා ද ශාක භක්ෂකයකු වන්න ඇති බවත් පැවැසෙයි.

තීසියෝසෝරස් ඩයිනසෝරයා ශාක භක්ෂකයකු පමණක් නොව, සර්වභක්ෂකයෙකි. එබැවින්, ඩියුනයිකස් ද සර්ව භක්ෂකයකු විය හැකි බවට අනුමාන කෙරේ. කෙසේ නමුත්, සතුරු තර්ජනයකදී ඩියුනයිකස් ප්‍රචණ්ඩකාරී වී, දිගු නිය භාවිතයට ගනිමින්, සතුරන් සමඟ සටන් කරන්න ඇතැයි ද පැවැසෙයි.

ඩියුනයිකස් ට්සොග්ට්බාටාරි, අඩි 10ක් (මීටර් 3ක්) පමණ උස වන්න ඇතැයි පැවැසෙයි. බර රාත්තල් 573ක් (කිලෝග්‍රෑම් 260ක්) පමණ වන්න ඇතැයි ද පැවැසෙයි. උස ගස්වලට ඉස්සී, දිගු වක ගැසුණු නියවලින් උසින් ඇති අතු රිකිලි පහළට ඇද ගනිමින් ඒවා ආහාරයට ගැනීමට ඩියුනයිකස් ට හැකි වන්නට ඇතැයි විද්‍යාඥයන්ගේ අදහසය. නිය පමණක් නොව, විද්‍යාඥයන්ට, මෙම පූර්ව ඓතිහාසික ජීවියාගේ කොඳු ඇට පෙළ, වලිගය, උකුල් ඇට, අත් සහ පාදවල පොසිල අස්ථි කොටස් ද හමුවී ඇත. මොංගෝලියානු විද්‍යා ඇකඩමියට අයත්, මොංගෝලියා පාෂාණ විද්‍යා ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ද මෙම සොයා ගැනීමට දායක වූ බව සෙලෙනිට්ස්කි පැහැදිලි කර තිබේ.

තීසියෝසෝරස් (Therizinosaurs) යන නමින් හැඳින්වෙන ඩයිනසෝරයා, අතීතයේ හැඳින්වූයේ ඊට වඩා වෙනස් නාමයකිනි. ඒ, සෙග්නෝසෝරස් යනුවෙනි. ආසියාවෙන් (මොංගෝලියාවේ ගෝබි කාන්තාරයෙන්) සහ උතුරු ඇමරිකාවෙන් තීසියෝසෝරස් පොසිල අස්ථි සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබී ඇත. මොවුන්ට රැප්ටර් ඩයිනසෝරයන්ට මෙන්ම පිහාටුවලින් සමන්විත දෑත් තිබෙන්න ඇතැයි විද්‍යාඥයන්ගේ මතයයි. එම පිහාටු විවිධාකාරයේ වර්ණවලින් යුක්ත වන්න ඇතැයි ද පැවැසෙයි. තීසියෝසෝරස් වන වදනින්‍, තීසියෝ යනු කැපීම එසේත් නැතිනම් දෑකැත්ත යන අරුතයි. සෝරස් යනු යෝධ කටුස්සා යන්නය. තීසියෝසෝරස් මන්දගාමී සත්වයකු වූ අතර ඇස් පෙනීම තරමක් දුර්වල බව ද පැවැසෙයි.

සී.එන්.එන්. ඇසුරිනි


RECOMMEND POSTS