ට්‍රම්ප්ට ලැබුණු පියාඹන මාලිගය
ලෝකයට ලොක්කා ඇමෙරිකන් ජනාධිපතිවරයා බව අමුතුවෙන් කිව යුතු නැත. ඇමෙරිකන් ජනාධිපතිවරයා පෝටස් The president of the United States (POTUS) යන නමින් හැඳින්වෙයි. මේ මොහොතේ ජනාධිපති ධුරය හොබවන්නේ කෝටිපති ව්‍යාපාරිකයකු ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ය.
ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ බිරිඳ හෙවත් ආර්යාව, ෆර්ස්ට් ලේඩි 1st Lady ලෙස හැඳින්වෙයි. ට්‍රම්ප්ගේ බිරිඳ මෙලානියා ය. ට්‍රම්ප් තෙවරක් විවාහ වූ අයෙකි. ඔහුට දූ දරුවන් බොහෝ දෙනෙක් වෙති. ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය හැඳින්වෙන්නේ එයාර් ෆෝස් වන් Air Force One යනුවෙනි. ඇමෙරිකන් ජනාධිපතිවරයාට හෙලිකොප්ටර් යානයක් ද ඇත. මෙය හැඳින්වෙන්නේ මැරීන් වන් Marine One යනුවෙනි. ‘එයාර් ෆෝස් වන්’ සහ ‘මැරීන් වන්’ යානා ඇත්තේ ඇමෙරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ගුවන් හමුදාව යටතේය. අප මේ කතා කරන්න සුදානම් වන්නේ, ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය ද වන එයාර් ෆෝස් වන් Air Force One ගැනය.
මේ වනවිට ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය එසේත් නැතිනම් ‘එයාර් ෆෝස් වන්’ ලෙස භාවිතයට ගැනෙන්නේ, බෝයිං 747 (Boeing 747) වර්ගයේ විශාල ගුවන් යානයකි. මෙම යානා සුදු වර්ණයෙන් යුක්තය. නිල් පාටින් පටි දෙකක් මෙහි ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය United States of America යන යානයේ ඉහළින් ලියා තිබේ. ඊට අමතරව, ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ නිල මුද්‍රාව ද යානයේ පිටත දකින්න ලැබේ. ‘එයාර් ෆෝස් වන්’ සාමාන්‍ය මගී ගුවන් යානයක් නම් නොවෙයි. යානය ඇතුළේ ජනාධිපතිවරයාට වැඩ කිරීමට පුළුවන් විශේෂ කාර්යාලයක්, නිදාගන්න කාමර, රැස්වීම් පවත්වන්න පුළුවන් ශාලා වගේ ගොඩක් පහසුකම් ඇත. කුඩා වෛද්‍ය මධ්‍යස්ථානයක් ද ඇත. මුළුතැන්ගෙයක් ඇත. ජනාධිපතිතුමාට ගුවන් යානය නිවසකි.
ඊට අමතරව ‘එයාර් ෆෝස් වන්’ යානය ඉතාමත් ආරක්ෂිතය. සතුරු මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ද හැකියාව ඇත. විශේෂ ආරක්ෂක පද්ධතිවලින් යානය සුසැදිය. නවීන තාක්ෂණය ඒ සඳහා භාවිතයට ගැනෙයි. ඇමෙරිකන් ජනාධිපතිවරයාට ලෝකයේ ඕනෑම තැනක සිට වැදගත් තීන්දු තීරණ ගැනීමටත්, රාජකාරි කටයුතු පහසුවෙන් කරගෙන යෑමටත් හැකි අයුරින් ‘එයාර් ෆෝස් වන්’ නිර්මාරණය කර ඇත. සාමාන්‍යයෙන් ‘එයාර් ෆෝස් වන්’ යානය තනිවම පියාසර කරන්නේ නැත. ඇමෙරිකන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානාවල ආරක්ෂාව ද ඊට හිමිවෙයි. ‘එයාර් ෆෝස් වන්’ ඇමෙරිකන් ජනාධිපතිවරයා වෙනුවෙන් තැනූ බංකරයක් වැනිය. බලකොටුවක් වැනිය.
පසුගිය දා ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මැදපෙරදිග සංචාරයක් ආරම්භ කරමින්, මැදපෙරදිග කලාපයේ රටවල් තුනක නිල සංචාරයක නියැලුණි. සෞදි අරාබිය, කටාර් රාජ්‍යය සහ එක්සත් අරාබි එමිරේස් රාජ්ය්ය යනු එම රටවල් තුනය. ඇමෙරිකන් ජනාධිපවරයකුට ධුර කාල දෙකක් ඇත. ට්‍රම්ප් මීට පෙර ජනාධිපති ධුරයට පත්වූයේ 2017 දීය. එසේ ජනාධිපති වීමෙන් පසු ට්‍රම්ප් සිය පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ සෞදි අරාබියයි. සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු, ජනාධිපති ට්‍රම්ප්ගේ සමීපතම මිතුරෙකි. ට්‍රම්ප් පසුගිය දා සෞදියට ගොස් හොඳහිත කරකර ගැනීමෙන් පසු ගියේ කටාර් රාජ්‍යයටය.
ඇමෙරිකන් ජනාධිපතිවරයාට කාටාර් රජ පවුලෙන් හිමිවූයේ සුවිශේෂී තෑග්ගකි. මේ තෑග්ග, අති සුඛෝපභෝගී ජම්බෝ ජෙට් ගුවන් යානයකි. බෝයිං 747-8 වර්ගයේ දැවැන්ත ගුවන් යානයකි. ඇමෙරිකන් ඩොලර් මිලියන 400 ක් වටිනා මෙම යානය කොතරම් සුඛෝපභෝගීදැයි කීවොත්, මෙය ‘පියාඹන මාලිගය’ යනුවෙන් ද හැඳින්වෙයි. ලෝකයටම ඇත්තේ මෙම යානය පමණක් වීම ද විශේෂත්වයකි. කටාර් රජ පවුල මෙම ගුවන් යානය ට්‍රම්ප්ට තෑගි වශයෙන් ලබා දෙන්නේ, ට්‍රම්ප් භාවිතයට ගන්නා නිල ගුවන් යානය වෙනුවටය.
දැවැන්ත නිදන කාමර, නාන කාමර, වැසිකිළි මුළුතැන්ගෙයක් පමණක් නොව, පෞද්ගලික කාර්යාල කාමරයක් මෙම සැප ගුවන් යානයේ ඇත. දැවැන්ත සෝපා ඇතුළු අලංකාර ගෘහ නිර්මාණවලින් යානය පිරී අලංකාර වී ඇත. වචනයේ පරිසමාප්තියෙන්ම මෙම ගුවන් යානය මාලිගාවකි. ගුවන් යානයේ මෙම ඇතුළත නිර්මාණ කර ඇත්තේ ප්‍රකට ප්‍රංශ ගෘහ නිර්මාණ සමාගමකි. අද ජනාධිපති ට්‍රම්ප් පමණක් නොව, ට්‍රම්ප්ට පෙර ජනාධිපති ධුරයේ සිටි ජනාධිපතිවරුන් පවා ‘එයාර් ෆෝස් 1’ ලෙස භාවිතයට ගන්නේ 1990 දශකයේ නිපදවූ බෝයිං යානයකි. ට්‍රම්ප්ට තෑගි ලැබුණු ගුවන් යානය ඊට වඩා ප්‍රමාණයෙන් ද විශාල වෙයි. දිග අඩි 250 කි.
බෝයිං යනු ඇමෙරිකාවේ ප්‍රමුඛතම ගුවන් යානා නිෂ්පාදකයාය. අභ්‍යවකාශ කටයුතුවලට ද බෝයිං සමාගම සම්බන්ධය. පසුගිය කාලයේ, බෝයිං සමාගම දැඩි පසුබෑමකට ලක් විය. ඔවුන් ඇමෙරිකන් ජනාධිපතිවරයා වෙනුවෙන් අලුත්ම අලුත් ‘එයාර් ෆෝස් 1’ යානයන් නිපදවීමට කටයුතු කරමින් සිටී. එම යානය නිපදවා අවසන් වනු ඇත්තේ අද හෙට නොව 2027 දී ය. ට්‍රම්ප්ට තෑගි ලෙස ලැබුණු පියාඹන මාලිගය වසර 10 ක් පැරණි යැයැ පැවැසෙයි.
තෑගි වශයෙන් මෙම යානය ට්‍රම්ප්ට ලැබුණු පසු, ඇමෙරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුව එය පරීක්ෂා කර, ‘එයාර් ෆෝස්’ ගුවන් යානයකට අවශ්‍ය සියලු වෙනස්කම් සිදු කිරීමට නියමිතය. එම කටයුතු ‘එල්3හැරිස්’ පෞද්ගලික සමාගමට පැවරෙයි. ‘එල්3හැරිස්’ යනු ඇමෙරිකාවේ ආරක්ෂක කටයුතුවලට සම්බන්ධ වී සිටින සමාගම්වලින් එකකි. ඒ අනුව, ඉදිරියේ දී ට්‍රම්ප්ගේ ධුර කාලය අවසන් වනතුරු ඔහු මෙම මිලියන ගණනක් වටිනා අපූරු තෑග්ග පාවිච්චියට ගනු ඇත. ධුර කාලය අවසන් වූ පසු කටාර් රජ පවුලෙන් ලැබුණු මේ අපූරු තෑග්ග ඇමෙරිකන් ජනාධිපති පුස්තකාලයට පිරිනැමීමට ද නියමිතය. ඊට හේතුව ඇමෙරිකන් ජනාධිපතිවරයකුට විදේශවලින් තෑගි ලබා ගැනීමට නොහැකි බැවිනි. ව්‍යවස්ථාවට අනුව ගුවන් යානය ධුර කාලය ඇතුළත පරිහරණය කිරීමට ට්‍රම්ප්ට හැකිවුවත් ධුර කාලය අවසන් වූ පසු එය පරිහරණය කළ නොහැකිය. කෝටිපති ව්‍යාපාරිකයකු බැවින්, ට්‍රම්ප්ට ද ඔහුටම කියා වෙනම පෞද්ගලික ගුවන් යානයක් ද ඇත.
ඩේලිමේල් ඇසුරිනි