‘කොවිඞ් 19’ ලොවෙන් තුරන් වෙන්නේ නෑ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සඳහටම ලොවෙන් තුරන් නොවනු ඇති බවත්, එය ඉන්ෆ්ලුවෙන්සා වයිරසය මෙන් කලින්කලට පැතිර යනු ඇති බවත් චීන වෛද්‍ය පර්යේෂකයෝ පවසති.

චීන වෛද්‍ය පර්යේෂකයන් මෙසේ පවසා ඇත්තේ, ‘කොවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් ඔවුන් විසින් එක් රැස් කරනු ලැබූ දත්ත පාදක කර ගනිමිනි. කලින් කලට ‘කොවිඞ් 19’  හිස ඔසවන්නේ නම්, වයිරසය මර්දනය කළ හැකි එන්නතක් හෝ ඔසුවක් හෝ නිපදවා ගැනීම ඉතා වැදගත් බව ද බීජීං අගනුවර චීන වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වූ කොරෝනා වයිරස පවුලේ නව වයිරසයක් බව තහවුරු වී ඇත. කෙසේ නමුත් ‘කොවිඞ් 19’  වයිරසයේ සුලමුල විද්‍යාඥයන්ට තවමත් අබිරහසක් වී ඇත.

වයිරසය ලොව පුරා ව්‍යාප්තවීම ඇරැඹුණේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. වයිරසයේ ආරම්භය වූහාන් නුවර සත්ව සහ මත්ස්‍ය වෙළෙඳපොළ යැයි පැවැසෙයි.

මෙම වෙළෙඳපොළේ සිට සැතපුම් 8 ක් දුරින් චීන රජයේ ‘වයිරසවේදය පිළිබඳ අධ්‍යයන ආයතනය’ පිහිටා ඇති අතර 2015 දී මෙම ආයතනයට නව රසායනාගාරයක් එක් කෙරුණි. ආසියාවේ විශාලතම වයිරස බැංකුව ලෙස මෙම රසායනාගාරය සැලකෙයි.

‘කොවිඞ් 19’ වයිරසය මෙම රසායනාගාරයේ නිර්මාණය කරන ලද්දක් බවත් එය හිතාමතා හෝ අත්වැරදීමකින් සමාජයට මුදා හැරෙන්න ඇති බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ජ් ට්‍රම්ප් චෝදනා කර තිබේ.

වයිරසය හිතාමතා සමාජයට මුදා හැරීමට චීනය පියවර ගත්තේ නම්, චීනයට කිසිදු සමාවක් නොලැබෙන බව ඇමෙරිකන් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

වූහාන් රසායනාගාරය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්විය යුතු බව ජනාධිපති ට්‍රම්ප් යෝජනා කර ඇති අතර, ජර්මනිය, ප්‍රංශය, ඇතුළු බටහිර රටවල් පමණක් නොව ඉන්දියාව එය අනුමත කර තිබේ.

චීනය හිතාමතා වයිරසය සමාජයට මුදා හැරිය බව තහවුරු වුවහොත්, චීනයට ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත්, චීනයෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 160 කට වඩා වැඩි වන්දි මුදලක් තමන් අපේක්ෂා කරන බවත් ජනපති ට්‍රම්ප් අවධාරණය කර ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර ඇත.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS