සෝවියට් යානය කඩා වැටෙයි
අඩ සියවසකට පෙර, සෝවියට් විද්‍යාඥයන්, සිකුරු ග්‍රහයා ගවේෂණයට යැවූ ගවේෂණ යානයක්, යළි පෘථිවියට කඩා වැටුණි.
‘කොස්මොස් 482’ නමැති මෙම රොබෝ ගවේෂණ යානය, ඉන්දුනීසියාවට ඔබ්බෙන්, ඉන්දීය සාගරයට පතිත වන්න ඇතැයි, යානය ගැන විමසිල්ලෙන් පසුවුණු යුරෝපා අභ්‍යවකාශ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) ‘කොස්මොස් 482’ නමැති මෙම රොබෝ ගවේෂණ යානය, සිකුරු වෙත යැවීමට උත්සාහ ගත්තේ 1972 මාර්තු මාසයේදීය. කෙසේ නමුත් පෘථිවි කක්ෂයෙන් ඉහළට ගිය ‘කොස්මොස් 482’ යානයට දෝෂයක් හේතුවෙන් සිකුරු බලා යෑමට නොහැකි විය. යානය මෙතෙක් කල්, එනම් වසර 53 ක් තිස්සේ, පෘථිවි කක්ෂයට ඉහළින් අභ්‍යවකාශයේ පාවෙමින් තිබුණි.
‘කොස්මොස් 482’ සෙමින් සෙමින් පහළට පැමිණෙන බවත්, එය පෘථිවියට කඩා වැටීමට නියමිත බවත් යුරෝපා අභ්‍යවකාශ ආයතනය අනතුරු ඇඟවීම් කර තිබුණේ මීට සති දෙකකට පමණ පෙර සිටිය.
‘කොස්මොස් 482’ යානය, පෘථිවි වායුගෝලයට ඇතුළු වී ඉන්දීය සාගරයට පතිත වූ බව පැවැසිණි. කෙසේ නමුත් යානය හරියටම පතිත වූ ස්ථානය අනාවරණය කර ගැනීමට විද්‍යාඥයන්ට මෙතෙක් හැකියාව ලැබී නැත.
සෝවියට් විද්‍යාඥයන්, ‘කොස්මොස් 482’ යානය, නිර්මාණය කර තිබුණේ සිකුරු ග්‍රහයාගේ මතුපිටට ගොඩබෑමටය. සිකුරුගේ වායුගෝලය පෘථිවි වායු ගෝලයට වඩා අධික තාපයකින් යුක්තය. ඒ අනුව, විද්‍යාඥයන් අනුමාන කරන්නේ, පෘථිවි වායු ගෝලය හරහා ඉන්දීය සාගරයට පතිත වූ රොබෝ යානය සම්පූර්ණයෙන් විනාශ නොවන්න ඇති බවය.
(ඒ.එෆ්.පී.)