විශ්වාසයි වයිරසය හැදුවේ චීනය
ලොවට වසංගතයක් වුණු ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය චීනයේ වූහාන් නුවර ජෛව රසායනාගාරයේ නිර්මාණය කළ එකක් යැයි තමන් විශ්වාස කරන බවත්, ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව සාක්ෂි ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.
‘කොවිඞ් 19’ වයිරස පැතිරීම ඇරැඹුණේ පසුගිය දෙසැම්බරයේ, චීනයේ වූහාන් නුවර සත්ව සහ මත්ස්‍ය වෙළෙඳපොළ කේන්ද්‍රකොට ගනිමිනි. චීන රජයට අයත් ‘වයිරසවේදය පිළිබඳ අධ්‍යයන ආයතනය’ පිහිටා ඇත්තේ එම වෙළෙඳපොළේ සිට සැතපුම් 8 ක් දුරිනි. 2015 දී වයිරසවේදය පිළිබඳ අධ්‍යයන ආයතනයට ජෛව සංරක්ෂණ රසායනාගාරයක් එක් කෙරුණු අතර ආසියාවේ විශාලතම වයිරස බැංකුව ලෙස මෙය සැලකෙයි.
ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙන අන්දමට, ‘කොවිඞ් 19’ මෙම රසායනාගාරය තුළදී නිපදවා ඇත. එය හිතාමතා සමාජයට මුදා හැරියේ නම් චීනයට කිසිදු සමාවක් නොදෙන බව ඇමෙරිකා ජනපති ට්‍රම්ප් පවසා ඇත. කෙසේ නමුත් අත්වැරදීමකින් කාන්දු වීමක් සිදුවූයේ නම් ඊට සමාවක් දිය හැකි බව ද ජනපති ට්‍රම්ප් පවසා ඇත.
ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් සහ ඇමෙරිකන් බුද්ධි අංශ වාර්තා චීනය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. මේ අතර, ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වූ පළමු රෝගියා කවුරුන්දැයි පවා සොයා ගැනීමට චීනයට මෙතෙක් හැකි වී නැත.
චීන රසායනාගාරය සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුත්, විමර්ශනයක් පැවැතිවිය යුතු යැයි ජනපති ට්‍රම්ප් යෝජනා කර ඇති අතර, ලොව රටවල් රැසක් ඊට කැමැත්ත පළ කර තිබේ. කෙසේ නමුත් චීනයේ විරෝධය ට්‍රම්ප්ගේ එම යෝජනාවට එල්ල වී ඇත.
2015 දී ඉදි කළජෛව සංරක්ෂණ රසායනාගාරය තුළ ‘සර්ස්’ සහ ‘මර්ස්’ වැනි කොරෝනා වයිරස පවා තැම්පත් කර තිබේ. පර්යේෂණාගාරය කොරෝනා වයිරස සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ආයතනයක් වුවත්, වයිරස නිර්මාණය කරන තැනක් නොවන බව චීනය පවසා ඇත.
කෙසේ නමුත් රුසියාවේ ප්‍රකට ක්ෂුද්රජීව විද්‍යා මහාචාර්යවරයකු වන පීටර් චුමකෝව් පවසා ඇත්තේ චීන ජෛව සංරක්ෂණ රසායනාගාරයේ නව වයිරස නිර්මාණය කිරීමට සියලු පහසුකම් ඇති බවය. කෙසේ නමුත් චීන විද්‍යාඥයන් හිතාමතා මාරක වයිරසයක් සමාජයට මුදා හැරියේ යැයි තමන් විශ්වාස නොකරන බව මහාචාර්ය පීටර් චුමකෝව්පැහැදිලි කර තිබේ.
වොෂින්ටනයේදීය (රොයිටර්)