බයිඩන්ගෙන් යුක්රේන ජනාධිපතිට ඇමැතුමක්



යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතර දුරකතන කතාබහක් පැවැත්විණි.

එහිදී ඇමෙරිකන් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරමින්, ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, යුක්රේන ජනාධිපතිවරයාට අනතුරු ඇඟවූයේ, රුසියාව එලැඹෙන පෙබරවාරිය වනවිට යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවය.

යුක්රේනය මුල්කොට ගනිමින් අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ යුක්රේනය ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් සමඟත්, නේටෝ සංවිධානය සමඟත් සමීපව කටයුතු කිරීමය.

යුක්රේනය ‘නේටෝ’ සාමාජිකයකු නොවුණත්, ‘නෝටෝ’ සංවිධානයට හිතවත්ව කටයුතු කිරීම, තම ආරක්ෂාවට තර්ජනයක් බව රුසියාව පවසයි. අතීතයේ යුක්රේනය සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් වී තිබුණි.

මේ වනවිට දස දහස් ගණනක් රුසියන් හමුදා සොල්දාදුවෝ යුක්රේන රුසියානු දේශසීමාවේ රැඳී සිටිති. රුසියන් ජනාධිපති දිගින් දිගටම ඇමෙරිකාවටත්, යුරෝපා රටවලටත්, ‘නේටෝ’ සංවිධානයටත් පවසා ඇත්තේ යුක්රේනය ආක්‍රමණය කිරීමේ අදහසක් රුසියාවට නොමැති බවය.

කෙසේ නමුත්, රුසියාව ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවලින් ඉල්ලා ඇත්තේ, යුක්රේනය සහ ‘නේටෝ’ සංවිධානය අතර පවතින හිතවත්කම් වහා නැවැත්විය යුතු බවත්, යුක්රේනයට සාමාජිකත්වය ලබා දීමෙන් වැළැකිය යුතු බවත්ය. මෙම ඉල්ලීමට ඇමෙරිකාව හෝ යුරෝපා රටවල් හෝ ‘නේටෝ’ සංවිධානය හෝ එකඟ නොවෙයි.
‘නේටෝ’ යනු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා රටවල් එක් වී, රුසියාවේ තර්ජනවලට මුහුණ දීමට ඇති කරගත් සංවිධානයකි.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ගතහොත්, ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් රුසියාවට එරෙහිව ප්‍රතිචාර දැක්වුවහොත්, එය යුරෝපා රටවල ආහාර සහ බලශක්ති අර්බුදයක් තෙක් දුරදිග යනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබේ.

යුරෝපා රටවලට ස්වභාවික වායු ලබා දෙන්නේ රුසියාවය. රුසියානු සමාගම් සහ යුරෝපා සමාගම් අතරේ මේ සම්බන්ධයෙන් ගිවිසුම් පවතී. යුක්රේනය හරහා රුසියාවත් ජර්මනියත් අතරේ ස්වභාවික වායු ප්‍රවාහනය සිදු කරන්නේ ‘නෝඩ් ස්ට්‍රීම් 2’ යන නමින් නම් කළ කළ පද්ධතියයි. මෙම නල පද්ධතිය දිවයන්නේ බෝල්ටික් මුහුදු පතුළෙනි.  රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත්, ‘නෝඩ් ස්ට්‍රීම් 2’ නළ පද්ධතිය වහා නැවැත්වීමට තමන් පියවර ගන්නා බව මහා බ්‍රිතාන්‍යය අනතුරු ඇඟවීම් කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS