චීන වෛද්‍ය කණ්ඩායමක් උතුරු කොරියාවට
හදවත් සැත්කමකට ලක් වී, ගිලන්ව සිටින උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගැන සොයා බැලීමටත්, ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමටත් චීනය විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් උතුරු කොරියාවට යැවීය.කිම් ජොන් උන් එම සැත්කමට ලක් කෙරුණු බව පැවැසෙන්නේ පසුගිය 12 වැනිදාය. ඇතැම් බටහිර මාධ්‍ය වාර්තා අනුව, සැත්කමින් පසු කිම් ජොන් උන්ගේ මොළය මියගොස් ඇත. කෙසේ නමුත් උතුරු කොරියානු රජය නිකුත් කළ නිවේදනයකට අනුව නම්, නායක කිම් ජොන් උන් සැත්කමින් පසු සුවය ලබන බව පැවැසෙයි.
විශේෂඥ වෛද්‍ය කණ්ඩායමට අමතරව, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ විශේෂ නිලධාරීන් කිහිප දෙනකු ද උතුරු කොරියාවට ගිය බව මාධ්‍ය වාර්තා පවසා තිබේ. ගිලන් වී සිටින උතුරු කොරියා නායක කිම් ජොන් උන් ගැන සොයා බැලීමට කටයුතු කරන බවත්, උතුරු කොරියා නායකයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.
ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, ධවල මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අතරතුරේදීය. ‘මට කියන්න තිබෙන්නේ එක දෙයයි. මා ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඔහු යහතින් සිටිනවා ඇතැයි මා විශ්වාස කරනවා. නායක කිම් ජොන් උන්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බලන්න උත්සාහ කරනවා. ඔහු මරණ මංචකයේ සිටිනවා යැයි පුවත් මා පිළිගන්නේ නැහැ’ යැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය.
සැත්කමින් පසු නායක කිම් ජොන් උන්ගේ මොළය මියගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කළත් තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බව ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත.
නායක කිම් ජොන් උන් 36 හැවිරිදි වියෙහි පසුවෙයි. කිම් ජොන් උන්ගේ බිරිඳ රී සොල් ජූ ය. සුරූපිනියක වන රී සොල් ජූ උතුරු කොරියාවේ ජනප්‍රිය ගායිකාවකි. දෙදෙනා විවාහ වී ඇත්තේ 2009 වසරේ දීය. දෙදෙනාට කිම් ජෝ සූ නමින් හතක් හැවිරිදි දියණියක සිටී. කිම් ජොන් උන් අධික තරබාරු, අධික ලෙස දුම් බීමට යොමු තැනැත්තකු බව ප්‍රකට කරුණකි.
පසුගිය කාලයේ නායක කිම් ජොන් උන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙමෙන් කෙමෙන් පිරිහී ඇතැයි ද පැවැසෙයි. මෙම වසර ආරම්භයේ දී නායක කිම් ජොන් උන්, රටේ පාලන බලතල සහ හමුදා බලතලවලින් බොහොමයක් සොහොයුරිය කිම් යෝ ජොන් ට පැවැරුවේ අසනීප තත්ත්වය නිසා යැයි දැන් පැහැදිලි වන බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
නායක කිම් ජොන් උන් එසේ කළේ ඔහුගේ අසනීප තත්ත්වය නිසා යැයි දැන් සැකයක් මතු වී තිබේ. කිම් ජොන් උන්ට පමණක් නොව, සොහොයුරි කිම් යෝ ජොන් ට එරෙහිව ද මානව හිමිකම් කඩකිරීම් සහ තමන්ට එරෙහි වුණු නිලධාරීන් ඝාතන සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වී ඇත.
කිම් ජොන් උන්ගේ මෙන්ම කිම් යෝ ජොන්ගේ පියා කිම් ජොන් ඉල් ය. කිම් ජොන් ඉල් උතුරු කොරියාවේ නායකයා ලෙස 1994 සිට 2011 දක්වා කටයුතු කළේය. කිම් ජොන් උන් උතුරු කොරියාවේ නායකයා බවට පත් වූයේ කිම් ජොන් ඉල්ගේ අභාවයෙන් පසුවය. අධ්‍යාපනය ලැබුවේ ස්විට්සර්ලන්තයේය.
ඇමෙරිකාව සමඟ පවතින එදිරිවාදිකම් අවසන් කිරීමට කිම් ජොන් උන්, ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවස්ථා කිහිපයකදී හමුවිය. එය ඓතිහසික සිදුවීමක් විය. එම හමුවෙන් පසු ට්‍රම්ප් කිම් ජොන් උන් හඳුන්වා දෙන්නේ තම ‘ගජ මිතුරා’ යනුවෙනි. ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියා නායකයාගේ මෙම හමුවීම ලෝක දේශපාලනයේ පෙරැළියක් විය. එහිදී කිම් ජොන් උන් කියා සිටියේ කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර සාමකාමී තැනක් බවට පත් කිරීමට තමන් කැමැති බවය. කෙසේ නමුත් ට්‍රම්ප් පරිපාලනයට අවශ්‍ය පරිදි උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණයක් සිදු නොවුණි.
බීජීංහිදීය (රොයිටර්)