ඝානී ඇමෙරිකා සංචාරයකට සූදානම්



ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී ඇමෙරිකාවට පැමිණ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට සූදානමින් සිටින බව ධවල මන්දිරය පවසයි. ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයකට අනුව, ඇෆ්ගන් ජනාධිපතිවරයා ඇමෙරිකාවට පැමිණෙනු ඇත්තේ ලබන ජූනි 25 වැනිදාය. ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් සහ ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී අතර හමුවක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

ඇමෙරිකාව, තලේබාන් පාලනය පෙරළා දමා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ මීට වසර 20 කට පෙරය. ඒ, 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වුණු අල් කයිඩා ප්‍රහාරයෙන් පසු, අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්, ඇෆ්ගන් තලේබාන්වරුන්ගේ ආරක්ෂාව ලැබ ඇෆ්ගනිස්තානයේ සැඟවීමය.

මෙම වසරේ සැප්තැම්බර් 11 වැනිදාට පෙර, ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින සියලු ඇමෙරිකන් සොල්දාදුවන් සහ නේටෝ හමුදා සොල්දාදුවන් ඉවත් කර ගැනීමට නියමිතය‍. ඒ, ඇෆ්ගන් රජය, තලේබාන් සංවිධානය සහ ඇමෙරිකාව ඇතිකරගත් සාම ගිවිසුමකට අනුවය.

එම සාම ගිවිසුමේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කිරීම ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ අරමුණ බව ධවල මන්දිරය පවසා ඇත.

ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීම ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාවට තර්ජනයක් වේවි යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, මෙම වාර්තාවට සතස් කර ඇත්තේ ඇමෙරිකා සහ නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට අයත් සාමාජික රටවල බුද්ධි අංශ ලබා දුන් තොරතුරු අනුවය. බටහිර හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගිය සැණින්, තලේබාන් සංවිධානයට අමතරව, අල් කයිඩා ත්‍රස්ත සංවිධානය ද ඇෆ්ගනිස්තානයේ සිය ආධිපත්‍ය පතුරුවනු ඇති බවත් එම වාර්තාවේ සඳහන් වෙයි.

ඇමෙරිකා සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයේ රැදී සිටින්නේ ඇෆ්ගන් රජයට සහ හමුදාවට සහාය දක්වන උපදේශකවරුන් සහ පුහුණුකරුවන් ලෙසය.

ඉන්දීය උප මහද්වීපයේ ක්‍රියාත්මක, අල් කයිඩා ත්‍රස්ත සංවිධානයට ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සාමාජිකයන් පමණක් නොව, පාකිස්තාන, ඉන්දීය, බංග්ලාදේශ සහ මියන්මාර මුස්ලිම් අන්තවාදීන් ද එක්වී සිටින බව එම වාර්තාවේ සඳහන් වෙයි. ඇෆ්ගනිස්තානයේ කන්දහාර්, හෙල්මද්, නිම්රූස් යන ඇෆ්ගන් ප්‍රාන්තවල ඉන්දීය උප මහද්වීපයේ අල් කයිඩා සංවිධානය ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද එම වාර්තාවේ දැක්වෙයි.

අල් කයිඩා ප්‍රධාන සංවිධානයේ නායක අයිමාන් අල් සවාරී සහ සෙසු නායකයන් සැඟවී සිටින්නේ ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ යැයි ඇමෙරිකන් බුද්ධි අංශ මේ වනවිටත් සනාථ කර තිබේ. ඇමෙරිකාව ඇතුළු නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගිය සැණින්, අල් කයිඩා සංවිධානය ඔවුන්ගේ ආධිපත්‍ය පතුරුවා ගැනීම සිදු කරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS