ගෝලීය එකමුතුවට ඇමෙරිකාව නෑ
ලොවට වසංගතයක් වූ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයට එන්නත් නිපදවීම සහ එය ලොව පුරා බෙදා හැරීමේ එකමුතුවට තමන් දායක නොවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් තීරණය කර තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් මේ බව අනාවරණය කළේ ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතය. කොරෝනා වසංගතයට එරෙහිව සාර්ථක එන්නත් නිපදවීම සහ එම එන්නත් බෙදා හැරීම සිදුවන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුදැනුම සහ අධීක්ෂණය යටෙත්ය. කොරෝනා වයිරසයට එන්නත් නිපදවීම සහ එය ලොව පුරා බෙදා හැරීමේ එකමුතුවට රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්වී සිටී.
ට්‍රම්ප් පරිපාලනය සහ ලේක සෞඛ්‍ය සංවිධානය අතරේ අර්බුදයක් පවතී. එම අර්බුදය හේතුවෙන් ඇමෙරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගන්නා බවට ද ජනාධිපති ට්‍රම්ප් දැනුම් දී තිබේ.
ඇමෙරිකාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර අර්බුදයක් හටගත්තේ, ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ කීමට කන් දෙමින්, කොරෝනා වයිරස වසංගතය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු ලොවෙන් වසං කළේ යැයි චෝදනා එල්ල වූ බැවිනි.
වයිරසය සම්බන්ධයෙන් කල්වේලා ඇතිව අනතුරු ඇගවීම් කෙරුණේ නම් ඇමෙරිකාවේ මරණ ඉහළ නොයනු ඇතැයි ජනාධිපති ට්‍රම්ප් චෝදනා නගයි. ලෝක සෞඛ්‍ය සංවිධානය, ඇමෙරිකානුවන්ගේ පමණක් නොව ලෝ වැසියන්ගේ විශ්වාසය කඩ කළේ යැයි ජනපති ට්‍රම්ප් පවසා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට නව ප්‍රතිසංස්කරණ අවශ්‍ය යැයි ද ජනපති ට්‍රම්ප් පෙන්වා දී ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම වැලැක්වීමේ අරමුණින්, සිරුරේ ප්‍රතිශක්තිය ඇති කරන එන්නත් නිපදවීමට ඇමෙරිකාව ඇතුළු රටවල් රැසක් අතරේ තරගයක් පවතී. මේ වනවිට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මැදිහත් වී එන්නතක් නිපදවා ඇති අතර, එය අතුරු ආබාධවලින් තොර එකක් යැයි වෛද්‍යවරු සහතික වෙති. රුසියාවත් චීනයත් වෙන වෙනම සහ එක් වෙමින් එන්නත් නිපදවා ඇත.
ජනාධිපති ට්‍රම්ප්ගේ උපදෙස් මත ඇමෙරිකාවේ ඖෂධ නිෂ්පාදන සමාගම් කීපයක් එන්නත් නිපදවීමේ කටයුත්තට යොමු වී ඇති අතර ඒවා ද සාර්ථක වෙමින් පවතී. ට්‍රම්ප් පවසා ඇත්තේ එසේ නිපදවන එන්නත් සියලුම ඇමෙරිකානුවන්ට නොමිලේ බෙදා දෙන බවය.
වොෂින්ටනයේදීය (රොයිටර්)