ඇෆ්ගන් පාසලක් ඉදිරිපිට බෝම්බයක් පිපිරේ
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ද්විතීක මිශ්‍ර පාසලක් ඉදිරිපිට බෝම්බයක් පුපුරා ගියේය. බෝම්බ ප්‍රහාරයට හසුවීමෙන් 30 දෙනකු මියගිය බවත් ඔවුන්ගෙන් වැඩිදෙනා බාලිකාවන් බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. බෝම්බ ප්‍රහාරයට හසුවීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ ගණන 50 කට වැඩිය.
පුපුරා ගියේ කාර් බෝම්බයකි. බෝම්බය පුපුරා ගියේ කාබුල් අගනුවර, ෂියා මුස්ලිම්වරුන් බහුලව වෙසෙන බෂාත් ඊ බෂ්රී පළාතේ පාසලක් ඉදිරිපිටය. ඊයේ (8) දිනයේ පාසල පැවැත්වූයේ බාලිකාවන් වෙනුවෙන් පමණි. බෝම්බය පුපුරා ගියේ පාසල නිමා වී දැරියන් පාසලෙන් පිටවෙද්දීය.
ප්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශ්වයක් බාරගෙන නැත. බාලිකා අධ්‍යාපනයට විරෝධය දක්වන සුන්නි මුස්ලිම් ඉස්ලාමීය අන්තවාදීන් ප්‍රහාරය එල්ල කරන්න ඇතැයි ආරක්ෂක අංශ පවසයි. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ ගණන තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වනතුරු ප්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශ්වයක් විසින් බාර ගනු ලැබ නැත. ඇෆ්ගනිස්තානයේ ප්රචණ්ඩ ක්‍රියා සිදු කරන පාර්ශ්ව දෙකක් සිටින අතර, ප්‍රධාන පාර්ශ්වය වන්නේ ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානයයි. කෙසේ නමුත් තමන් එම බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ නැති බව තලේබාන් ත්රස්තයන් පවසා ඇත.
ඇමෙරිකාව ඇෆ්ගන් තලේබාන් සංවිධානය සමඟත්, ඇෆ්ගන් රජය සමඟත් සාම සාකච්ඡා අරඹා ඇති අතර, තලේබාන් සංවිධානයේ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මේ වනවිට ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ආපසු ගෙන්වා ගැනීම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් විසින් ආරම්භ කරනු ලැබ තිබේ.
ප්රචණ්ඩ ක්‍රියා සිදු කරන අනෙක් පාර්ශ්වය වන්නේ ඇතැම් තලේබාන් ත්‍රස්ත කල්ලි සමඟ අත්වැල් බැඳගෙන සිටින අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන්ය. ඇමෙරිකාව සහ තලේබාන් සංවිධානය අතර ඇති කරගත් සාම සැලැස්මට මොවුහු එරෙහි වෙති. බෝම්බ පුපුරුවමින් ප්රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ මොවුන්ය.
ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් සොල්දාදුවෝ 3,000 ක පිරිසක් රඳවා සිටිති. ඔවුන් යුද ගැටුම්වලට සම්බන්ධ නොවන අතර ආරක්ෂක කටයුතුවලදී ඇෆ්ගන් ආරක්ෂක අංශවලට සහාය දෙයි. ඊට අමතරව, ඇෆ්ගන් හමුදා සොල්දාදුවන් පුහුණු කිරීම ද සිදු කරයි. මොවුන් සියලු දෙනා එලැබෙන සැප්තැම්බර් 11 වැනිදාට පෙර ආපසු ඇමෙරිකාවට ගෙන්වා ගන්නා බව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා දී තිබේ.
බාලිකාවන් ඉලක්ක කර ගනිමින් පාසල ඉදිරිපිට සිදුවුණු බෝම්බ ප්‍රහාරය තරයේ හෙලා දකින බවත්, එය ම්ලේච්ඡ ක්‍රියාවක් බවත් ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මේ අතර ඇෆ්ගන් සිවිල් වැසියන් බිය පළ කර ඇත්තේ, ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවුවහොත්, ප්රචණ්ඩ ක්‍රියා තව තවත් වර්ධනය වනු ඇති බවටය.
කාබුල්හිදීය (රොයිටර්)