‘මාස්ක්’ පලඳින්නම ඕනෑ
රට රටවලට සාපේක්ෂව, ‘කොවිඩ් 19’ වයිරසයේ අවදානම අඩු වැඩි වුණත්, වයිරසයෙන් බේරීමට නම් මුහුණු ආවරණ පැලඳීම අනිවාර්ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් වරක් ලෝ වැසියන්ට සිහිකැඳවීමක් කළේය.
මුහුණු ආවරණ පැලඳීම කළ යුතු පවන්නේ ‘කොවිඞ් 19’ වයිරස ආසාදිතයන්ගෙන් වයිරසය ආසාදනය වීම වළක්වා ගැනීමට පමණක් නොව, ඔබ නොදැනුවත්වම (කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා) ආසාදිතයකු වී සිටින්නේ නම්, ඔබෙන් රෝගය අනෙක් අයට බෝවීම අවම කිරීමට යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
රටවල් බොහොමයක් මුහුණු ආවරණ අනිවාර්ය කර ඇති අතර, කොරෝනා වයිරස අවදානම හොඳින් වටහා ගත් රටවල් මුහුණු ආවරණ සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාවට නංවා ඇත.
‘මුහුණු ආවරණ පැලඳීම බොහෝ දෙනා විහිළුවකට ගන්නා බව පෙනෙනවා. රටවල් බොහොමයක් මුහුණු ආවරණ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කර ඇත්තේත්, මුහුණු ආවරණ නොමැති නම් ඒ සඳහා දඬ මුදලක් අය කරන්නේත් ඒ නිසයි. කොරෝනා වයිරසය සමඟ ජීවීතයට අප හුරු විය යුතුයි. සමාජ දුරස්ථභාවය රැක ගැනීම කළ නොහැකි හෙයින් මුහුණු ආවරණ පැලඳීම අනිවාර්යයෙන් කළ යුතුයි’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ ප්‍රකාශයක දැක්වෙයි.
ඉතාලියේ යළිත් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙද්දී, පසුගිය 16 වැනිදා, ඉතාලි රජය නිවේදනය කළේ උදෑසන කාලයේ පමණක් නොව, රාත්‍රී කාලයේ එනම් සවස 6 සිට උදෑසන 6 දක්වා ද මුහුණු ආවරණ අනිවාර්ය බවය. පාකිස්තානය මුහුණු ආවරණ අනිවාර්ය කළේ පසුගිය මැයි 30 වැනිදාය. පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය පවසා ඇත්තේ එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 90 ක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවය.
ලෙබනනය ඇතුළු මැදපෙරදිග රටවල් බොහොමයක්, මුහුණු ආවරණ නොපලඳින පුද්ගලයන්ගෙන් ඇමෙරිකන් ඩොලර් 33 ක දඩ මුදලක් අය කෙරේ. දකුණු කොරියාව, ස්පාඤ්ඤය, ප්‍රංශය පවසා ඇත්තේ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම අසීරු කාර්යයක් වන බැවින්, මුහුණු ආවරණ අනිවාර්යයෙන් ම පැලැඳිය යුතු බවය.
අප්‍රිකා රටවල් බොහොමයක් ද මුහුණු ආවරණ අනිවාර්ය කර තිබේ. උගන්ඩා ජනාධිපති යොවේරී මුසෙවේනී, ජාතිය අමතමින් පැවැසුවේ, නිවසින් බැහැරව යන්නේ නම් සැවොම මුහුණු ආවරණ පැලැඳිය යුතු බවය.
මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 21.8 පසු කළේය. මරණ වාර්තා වන්නේ 773,000 ක් ලෙසිණි. වයිරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ ගණන මිලියන 14 කට ආසන්නය. ලොව වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. දෙවැනි ස්ථානයේ ඇත්තේ බ්‍රසීලයයි. තුන්වැනි ස්ථානයේ ඇත්තේ ඉන්දියාවය. ඉන්දියාවේ කොරෝනා මරණ 50,000 පසු කර අවසන්ය.
ජිනීවාහිදීය (රොයිටර්)