රුසියාවත් චීනයත් විරුද්ධයි



උතුරු කොරියාවේ හිතුවක්කාර මිසයිල අත්හදා බැලීම්වලට විරෝධය පළ කරමින්, එරටට සම්බාධක පැනැවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සූදානම් වෙද්දී. එම ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් දෙදෙනකු වන රුසියාවත් චීනයත් ඊට විරෝධය දැක්වීය.

ලෝකයේ ආරක්ෂාවට තර්ජන එල්ල වෙද්දී, ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයයි. ආරක්ෂක මණ්ඩලය නිත්‍ය සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විතය. එම නත්‍ය සාමාජිකටන් වන්නේ ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය, චීනය, රුසියාව, සහ ප්‍රංශයයි. ඊට අමතරව නිත්‍ය සාමාජිකයන් නොවන සාමාජික රටවල් 15 ක් ද ආරක්ෂක මණ්ඩලයට අයත් වෙයි.

උතුරු කොරියාව මෙම නව වසර ආරම්භයත් සමඟ මේ වනවිට ‘හයිපර්සොනික්’ වර්ගයේ දිගු දුර මිසයිල අත්හදා බැලීම් සිදු කර ඇත්තේ අසල්වැසි දකුණු කොරියාවට, ජපානයට පමණක් නොව මුළු ලෝකයටම තර්ජනයක් වන ආකාරයටය. අවසන් වරට උතුරු කොරියාව ‘හයිපර් සොනික්’ බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලුවේ පසුගිය සඳුදා (27) දිනයේය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය උතුරු කොරියාවට එරෙහි ක්‍රියා මාර්ගයක් ගැනීමට රැස්වුණු අතර එහිදී ඇමෙරිකාව යෝජනා කළේ උතුරු කොරියා රජයේ ඉහළ ප්‍රධානීන් පස් දෙනකු ඉලක්ක කර ගනිමින් සම්බාධක පැනැවීම සිදු කළ යුතු බවය.

ඒ සම්බන්ධයෙන් රුසියාව සහ චීනය වෙනම දීර්ඝ සාකච්ඡාවක් පැවැත් වූ බවත්, පසුව එම සම්බාධක පැනැවීමට ඔවුන් විරෝධය දැක්වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

විරෝධය දක්වමින්, රුසියාවත් චීනයත් ආරක්ෂක මණ්ඩලයට පෙන්වා දුන්නේ සම්බාධක පැනැවීම තාවකාලිකව අත්හිටුවීමටය. සම්බාධක පැනැවීමට පෙර ඒ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කළ යුතු යැයි චීනය ආරක්ෂක මණ්ඩලයේ සෙසු සාමාජිකයන්ට පෙන්වා දුන්නේය. ඒ අනුව, ආරක්ෂක මණ්ඩලයේ නව නීති යටතේ, මාස 6 ක කාලයක් සඳහා නව සම්බාධක පැනැවීමක් සිදු නොවනු ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS