ජෝ බයිඩන් යුක්රේන සංචාරයකට සූදානම්



ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් යුක්රේන සංචාරයකට සූදානම් වෙයි. ඇමෙරිකන් ජනාධිපතිවරයා යුක්රේනයට පැමිණෙනු ඇත්තේ රුසියාවෙන් එල්ල වන තර්ජන හමුවේ, යුක්රේනයට සහාය පළකරන බව අවධාරණය කිරීමට යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත.

කෙසේ නමුත්, ඇමෙරිකන් ජනාධිපති බයිඩන් යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණෙන්නේ කවදාදැයි යුක්රේන ජනාධිපතිවරයා පවසා නැති අතර, ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ගේ මෙම සංචාරය ඉදිරි දින කීපය ඇතුළත සිදුවනු ඇතැයි සෙලෙන්ස්කී පැහැදිලි කර තිබේ.

තමන් යුක්රේනයට පැමිණෙන බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීට පවසා ඇත්තේ ද ජනාධිපති බයිඩන්ය.. ඒ දෙදෙනා අතර පැවැති දුරකතන සන්වාදයක් අතරතුරේය. ‘ඔබේ පැමිණීම අපට ලොකු ශක්තියක්‘ යැයි එම අවස්ථාවේදී සෙලෙස්කි, ඇමෙරිකන් ජනාධිපතිවරයාට පැවැසීය. ජනාධිපතිවරුන් දෙදෙනාගේ දුරකතන සන්වාදය මිනිත්තු 50 ක් පුරා පැවැත්විණි. එහිදී රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගතහොත් ඊට කෙසේ මුහුණ දිය යුතු ද යන්න සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

රුසියාව සහ යුක්රේනය අසල්වැසියන්ය. අතීතයේ සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවදියේ දී යුක්රේනය සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් විය. සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසු යුක්රේනය යුරෝපා සහ බටහිර රටවලට සමීප වී කටයුතු කරයි. ඊට අමතරව ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය සමඟ ද සබඳතා තරකරගෙන ඇත. ‘නේටෝ’ යනු බටහිර රටවල් එක් වී, රුසියාවේ තර්ජනවලට මුහුණ දීමට පිහිටුවා ගත් සන්ධානයයි. ‘නේටෝ’ සංවිධානය සමඟ සමීපව කටයුතු කරන යුක්රේනය, ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලයි. රුසියාවේ විරෝධයට හේතුවක් වී ඇත්තේ මෙයයි. යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයකට සූදානමින්, රුසියන් හමුදා සොල්දාදුවන් ලක්ෂ ගණනින් යුක්රේන රුසියා දේශසීමාවේ රැඳී සිටින්නේ මේ නිසාය.

මේ වනවිට රුසියන් හමුදා, රුසියානු යුක්රේන දේශසීමාව දෙසින් ද බෙලරූසය දෙසින් ද ක්‍රිමියා අර්ද්වීපය දෙසින් ද  යුක්රේනය වට කර තිබේ. ක්‍රිමියා අර්ධ ද්වීපය යුක්රේනයට අයත් කොටසක් වන අතර මෙය රුසියාව විසින් අත්පත් කරගනු ලැබුවේ 2014 වසරේදීය. ඒ වනවිට ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරය හෙබවූයේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ය.

කීව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS