කොරෝනා මැද්දේ චීන ආක්‍රමණයක්
චීනය නව කොරෝනා වයිරසයට මුවා වී ඉන්දියාවට අයත් භූමි ප්‍රදේශ අල්ලාගෙන ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදය චෝදනා කරයි. ඊට අමතරව චීනය ‘දකුණු චීන මුහුදට (සවුත් චයිනා සී)’ හිමිකම් කියන්නේ යැයි ද ඇමෙරිකාව චෝදනා කරයි.
ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසය තුළ දී ඊට අදාළව සංශෝධනයක් ද සම්මත කරගෙන තිබෙන අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ දී ඒකමතිකව එය සම්මත වී තිබේ. ජාතික ආරක්ෂක අවසර/බලය දීමේ පනතට අදාළ සංශෝධනය ඇතුළත් කර තිබේ. මෙම පනත ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක අමාත්‍යාංශය වන ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් පනතකි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයට ය. එහි ඉහළ මණ්ඩලය වන සෙනට් සභාවේ බලය ඇත්තේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයටය. කෙසේ නමුත් අදාළ සංශෝධනය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ඒකමතිකව සම්මත විය.
චීනය, ඉන්දියාවේ ලඩාක්හි පිහිටි ගැල්වාන් නිම්නයට අයත් ප්‍රදේශ බලහත්කාරයෙන් අත්පත් කරගනිමින් සිටින බවටත් ‘දකුණු චීන මුහුද’ වැනි මතභේදාත්මක ප්‍රදේශවලට අයිතිවාසිකම් කියන බවත් ඇමෙරිකාව අදාළ සංශෝධනය මඟින් චීනයට චෝදනා එල්ල කර ඇත.
ඉන්දු ඇමෙරිකානු කොංග්‍රස් සභිකයකු වන අමි බෙරා සමඟ එක්ව තවත් කොංග්‍රස් සභිකයකු වන ස්ටීව් ෂැබොට් අදාළ සංශෝධනය ඉදිරිපත් කර තිබිණි. ඉන්දු-චීන දේශසීමාවේ පිහිටි පාලන ප්‍රදේශයේ උග්‍ර අතට හැරෙමින් තිබෙන තත්ත්වය සාමකාමී අයුරින් විසඳාගැනීම සඳහා ඉන්දියාව සහ චීනය එක්ව කටයුතු කළ යුතු යැයි ද අදාළ සංශෝධනයේ සඳහන්ව ඇත.
ඉන්දීය සහ චීන හමුදා අතර නැගෙනහිර ලඩාක් කලාපයේ මැයි 5 වැනිදා සිට අවස්ථා කිහිපයකදීම ගැටුම් ඇතිවිය. පසුගිය මාසයේදී ගැල්වාන් නිම්නය ප්‍රදේශයේදී ඉන්දු-චීන හමුදා අතර දරුණු ගැටුම් ඇති වූ අතර එම ගැටුමෙන් ඉන්දීය සෙබළුන් 20 දෙනකුට ජීවිත අහිමි විය.
චීනය මේ ආකාරයෙන් මතභේදාත්මක ප්‍රදේශවලට හිමිකම් කියන බවත් එපමණක් නොව චීනය අවට තිබෙන භූමි ප්‍රදේශ බලහත්කාරයෙන් අත්පත් කරගනිමින් සිටින බවත් අදාළ සංශෝධනයේ සඳහන් කර ඇත.
චීනය නව කොරෝනා වයිරසයට මුවා වී ඉන්දියාවට අයත් භූමි ප්‍රදේශ මෙන්ම චීනය අවට තිබෙන භූමි ප්‍රදේශ අත්පත් කරගැනීමට ගන්නා උත්සහාය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බව ද අදාළ සංශෝධනයේ සඳහන් වේ.
දකුණු චීන මුහුදට අයත් වර්ග සැතපුම් මිලියන 1.3ක් තමන්ට අයත් යැයි චීනය ප්‍රකාශ කරයි. දකුණු චීන මුහුදේ ඇති ඇතැම් දූපත් ස්වභාවික ඒවා නොවන අතර කෘත්‍රීමව නිෂ්පාදනය කළ ඒවාය. චීනය එම දූපත්වල හමුදා කඳවුරු ඉදි කරමින් සිටියි. බෲනෙයි, මැලේසියාව, පිලිපීනය, තායිවානය මෙන්ම වියට්නාමය ද මෙම දූපත්වලට හිමිකම් කියයි.
චීනය මෙම ප්‍රදේශවල ධීවර කටයුතු හෝ පතල් කැණීම්වලට අවසර නොදෙන අතර එයින් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන්නේ වියට්නාම සහ පිලිපීනය යන රටවලට ය.
නැගෙනහිර චීන මුහුදු කලාපයේ තිබෙන දූපත් හේතුවෙන් හටගත් මතභේද නිසා චීනය සහ ජපානය අතර තිබෙන සබඳතා ද පළුදු වී තිබේ. ජපානයට අයත් ප්‍රදේශයේ පිහිටි සෙන්කකු දූපත සහ චීනයට අයත් ප්‍රදේශයේ පිහිටි දියොයු දූපතත් නිසා දෙරට අතර එලෙස මතභේද ඇති වී තිබේ.
‘‘ඉන්දියාව ඉතාම වැදගත්. ඉන්දු-ශාන්තිකර කලාපයේ අපේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ශවකරුවෙක්’’ යැයි කොංග්‍රස් සභික ෂැබොට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
එන්.ඩී.ටීවී.