අර්බුදය දිග්ගැස්සෙන්න දෙන්න එපා
ඉන්දු චීන දේශසීමාවේ සිදුවුණු වෙඩි තැබීමකින් ඉන්දීය සොල්දාදුවන් 20 දෙනකු මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාවත් චීනයත් අතර නව අර්බුදයක් නිර්මාණය වී ඇත.
හටගත් මෙම අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොදී කඩිනමින් විසඳා ගන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙරටින් ඉල්ලා ඇත. ආසියාවේ බලවතා චීනය වන අතර, ඉන්දියාව ද චීනයට දෙවැනි වන්නේ නැත. දෙරටම න්‍යෂ්ටික බලැති රටවල්ය.
ඊයේ (16) සිදුවුණු එම අවි ගැටුමෙන් ඉන්දීය සොල්දාදුවෝ 43 දෙනෙක් තුවාල ලැබූහ. මියගිය හමුදා සොල්දාදුවන් අතර කර්නල්වරයකු ද සිටින බව ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
නිව්යෝක්හිදීය (රොයිටර්)
සිද්ධිය සම්බන්ධයෙන් චීනය පවසා ඇත්තේ ඉන්දියානු සොල්දාදුවන් තම දේශසීමාවට පිවිසීම නිසා වෙඩි තබන්න සිදුවුණු බවය. තමන් වෙඩි තැබීම කළේ තම ස්වෛරීත්වය වෙනුවෙන් යැයි ද චීන විදේශ ඇමැතිවරයා ඉන්දීය රජයට පැහැදිලි කර තිබේ. ඉන්දීය රජය පවසා ඇත්තේ දේශසීමා ගැටුම සම්බන්ධයෙන් චීන බලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කළ බවය.
ඉන්දු චීන දේශසීමාව පිහිටා ඇත්තේ ඉන්දු කාශ්මීරයේ ලඩාක් පළාතේය. ජම්මු සහ කාශ්මීර පළාත් පාකිස්තානයට ළං වී පිහිටද්දී, ලඩාක් පළාත ඇත්තේ ඊට ප්රතිවිරුද්ධව ටිබෙටයටත් චීනයටත් මායිම්වය. ලඩාක් පළාත, ෂියාචෙන් ග්ලැසියරයේ සිට ඉන්දියාවට, පාකිස්තානයට සහ චීනයට මායිම්ව පිහිටින හිමාල අඩවියේ කරාකොරාම් කඳු වැටිය තෙක් පැතිර පවතී.
ලඩාක් පළාතේ විශාලතම නගරය ‘ලේහ්’ ය. දෙවැනියට විශාල නගරය ‘කාගිල්’ ය. ලඩාක් හි ටිබෙට් බෞද්ධයෝ සියයට 39.7 ක් ද, ෂියා මුස්ලිම්වරු සියයට 46.4 ක් ද හින්දු භක්තිකයෝ සියයට 12.1 ක් ද වෙති. ඊට අමතරව සීක් ජාතිකයෝ ද ලඩාක් පළාතේ වෙසෙති.
ලඩාක් පළාතේ ඩ්රාස් සහ ඩා හනු යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශවල පදිංචිවී සිටින්නේ ඩාර්ඩ් වැසියන්ය. ඩා හනු පළාතේ වැසියන් බ්‍රොක්පා ලෙස හැඳින්වෙයි. ටිබෙට් බෞද්ධයන් වන්නේ මොවුන්ය. නවීන ලෝකයෙන් ඈත් වී සාම්ප්‍රදායට ගරු කරන පිරිසක් ලෙස මොවුන් සැලකෙයි.