ඉම්රාන්ගෙන් විදේශ ප‍්‍රතිපත්ති



 
ඉම්රාන් ඛාන් පාකිස්තාන මහ මැතිවරණයෙන් ජය ලැබීය. එහෙත් කි‍්‍රකට් ක‍්‍රීඩකයකුව සිට දේශපාලනඥයකු බවට පත්වූ ඉම්රාන් ඛාන්ගෙන් විදේශ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් අපට කුමක් බලාපොරොත්තු විය හැකි ද ?
 
රට අභ්‍යන්තරයට පමණක් සම්බන්ධ ප‍්‍රතිපත්ති සහ දූෂණයට එරෙහිව සටන් කිරීම යනාදිය ගත්විට ඉම්රාන් ඛාන් ජනපි‍්‍රය නායකයෙකි. කෙසේ නමුත් විශේෂයෙන්ම මැද පෙරදිග සලකා බලන විට පාකිස්තානයට පසුගිය කාලසීමාවේදී වඩාත් පුළුල් හා විචක්ෂණශීලි විදේශ ප‍්‍රතිපත්තියක් තිබුණේ නැත. තමන්ට පෙර සිටි නායකයන් අසමත් වූ දෙය කරන්නට ඉම්රාන් ඛාන්ට හැකි වේවි ද ?
 
ඉම්රාන් ඛාන්ගේ විදේශ ප‍්‍රතිපත්තියේ වඩාත් සැලකිය යුතු කරුණ වන්නේ ඔහු ඉරානයට පක්ෂපාතී ස්වභාවයක් දැරීම යැයි ‘ද විල්සන් සෙන්ටර්’ හි මයිකල් කු-ගෙල්මන් පවසයි.
 
මැතිවරණ ජයග‍්‍රහණය කිරීමෙන්  පසු ඉම්රාන් ඛාන් කළ කතාවෙන් ඔහුගේ විදේශ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් යාන්තම් අවබෝධයක් ලබාගත හැකිය. එම කතාවේදී ඉම්රාන් ඛාන් ‘සෞදි ඉරාන’ ප‍්‍රතිවිරෝධයට වැඩි බරක් තැබීය.
 
‘‘අපට ඉරානය සමඟ සම්බන්ධකම් වර්ධනය කරගන්න  ඕනේ. අපි මුහුණ දුන් දුෂ්කර අවස්ථා සියල්ලකදීම වගේ සෞදි අරාබිය අපි සමඟ සිටියා. සෞදි අරාබිය අපේ මිත‍්‍රයෙක්. මැද පෙරදිග සංහිඳියාව වෙනුවෙන් කළ හැකි සියල්ල කිරීම අපේ අරමුණයි. එම කර්තව්‍යයේදී අපි අපේ භූමිකාව රඟ දක්වනවා. එම අර්බුදකාරී තත්ත්ව, අසල්වැසියන් අතර තිබෙන ගැටුම් නිරාකරණය කර ඔවුන් සියලූ දෙනා එකමුතු කරනවා’’ ඉම්රාන් ඛාන් පැවැසීය.
 
එහෙත් භූමියේ තත්ත්වය ඊට වෙනස්ය. පාකිස්තානය සෞදි අරාබිය සහ ඉරානය අතර කඹ ඇදිල්ලට මැදි වී සිටී.
‘‘පාකිස්තානය දීර්ඝ කාලයක් තිස්සේ දෙපාර්ශවය අතර සමබරතාවක් ඇති කිරීමට බොහෝ ආකාරවලින් උත්සාහ ගත්තේය.  එහෙත් එය සමබර කිරීම දුෂ්කර කර්තව්‍යයක්’’ යැයි මාධ්‍යවේදී සහ විශ්ලේෂක ජේම්ස් ඩෝර්සි පවසයි. 
‘‘සෞදි අරාබියේ බලපෑම ආණ්ඩුමය වශයෙන් පමණක් සිදු වෙන්නක් නෙමෙයි. එය සමාජයීය වශයෙන් ද සිදුවෙනවා. අර්ථය අතින් ගත්තාම පාකිස්තානය කියන්නෙම ඉතා දුෂ්කර තැනක්’’ ඔහු කියයි.
 
පාකිස්තාන වැසියෝ සිය දහස් ගණනක් සෞදි අරාබියේ අති විශාල ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ මෙන්ම අනෙකුත් අඩු වැටුප් ගෙවන රැුකියාවල නිරත වී සිටිති. ඓතිහාසිකවම පාකිස්තානය සහ සෞදි අරාබිය අතර සමීප සබඳතාවක් පවතී. එය බි‍්‍රතාන්‍යයන් සහ ඇමෙරිකානුවන් විසින් ඇති කරන ලද්දකි. සෞදි අරාබිය පාකිස්තානයට ලබාදෙන ලද ණය සහ ඔවුන්ගේ න්‍යෂ්ටික අවි වැඩසටහන් වෙනුවෙන් සෞදි අරාබිය කරන ලද ආයෝජන නිසා පාකිස්තානය සෞදි අරාබියේ යටහත් පාර්ශවකරුවකු ලෙසින් දැකිය හැකිය.
 
පාකිස්තානයේ දේශපාලනය එරට හමුදා ස්ථාපනය මත පදනම් වී ඇත. පසුගිය මහ මැතිවරණයේදී පාකිස්තාන හමුදාව ඉම්රාන් ඛාන්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මැදිහත් වූ අතරම පාකිස්තාන හමුදාව සෞදි අරාබිය සමඟ දැඩි සබඳතාවක් ද පවත්වයි.
 
පාකිස්තානය රාජ්‍ය තාන්ති‍්‍රක උපායමාර්ගවල නිරත වෙමින් දැඩි බල අරගලයක නිරත වී සිටින බලවත් රාජ්‍ය දෙක අතර සමබරතාවක් ඇති කරන්නේ කෙසේ ද ?
 
ඉම්රාන් ඛාන් මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ පසු සෞදි සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ නිලධාරීහු ඔහුට සුබ පැතුම් කළහ. ඉරානයට දේශසීමා වී සිටින උපායාමාර්ගික ස්ථානය පිහිටා තිබෙන පාකිස්තානය ගල්ෆ් රටවලට ඉතා වැදගත් වේ. මේ අතරවාරයේදී පාකිස්තානය සමඟ සහයෝගීතාව වැඩි කරගැනීමේ අරමුණින් ඉරානය ඉම්රාන් ඛාන්ට විවෘත ඉල්ලීමක් කර ඇත.
 
‘‘ඉම්රාන් ඛාන්ගේ විදේශ ප‍්‍රතිපත්තියේ ප‍්‍රධානතම සහ අවධානය යොමු කළ යුතු කරුණ ඔහු ඉරාන හිතවාදී ප‍්‍රකාශයක් කිරීම’’ යැයි විල්සන් මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ දකුණු ආසියානු කලාපය සඳහා ජ්‍යෙෂ්ඨ සහකාර මයිකල් කු-ගෙල්මන් පවසයි.
 
‘‘පාකිස්තාන නායකයකු ඉරානය සම්බන්ධයෙන් මෑතකදී එවැනි ප‍්‍රකාශයක් කළ පළමු අවස්ථාව මෙය’’ යැයි ද හෙතෙම කියයි.
 
ඉම්රාන් ඛාන් යේමන සිවිල් යුද්ධය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇතැයි ‘මැද පෙරදිග ආයතනයේ’ අනේවාසික අධිශිෂ්‍යයකු වන අරීෆ් රෆීක් පෙන්වාදෙයි.
 
පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 12ක ණය මුදලක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටී. ඇමෙරිකා එක්සත් ජනපදය දැනටමත් ඊට විරෝධය පළ කර ඇත. පාකිස්තානය ඉරානය සමඟ ශක්තිමත් සබඳතා ඇති කරගත හොත් තත්ත්වය තවත් සංකීර්ණ වනු ඇත.
 
පාකිස්තාන ආර්ථිකයේ තත්ත්වය අස්ථීර වුවත් ඔවුන්ට සෞදියේ ණය සහ ආයෝජන ඉතා වැදගත් යැයි රෆීක් කියයි. සෞදිය පදනම් කරගනිමින් කි‍්‍රයාත්මක වන ඉස්ලාමීය සංවර්ධන බැංකුව පාකිස්තානයට එක්සත් ජනපද ඩොලර් බිලියන 4.5ක ‘තෙල් මූල්‍ය පහසුකම්’ අනුමත කරන ලදි. පාකිස්තානයට සෞදි අරාබියෙන් මෙලෙස ණය, අරමුදල් සහ ආයෝජන ආදී මූල්‍ය පහසුකම් ලැබෙන්නේ දේශපාලන මිලක් සහ බලපෑමක් ද සහිතවය.
 
අසමත් වෙමින් තිබෙන පාකිස්තාන ආර්ථිකය සැලිකල්ලට ගැනීමේදී දේශපාලනිකව අපක්ෂපාතී වී සිටීමට ද ඉම්රාන් ඛාන්ට හැකියාවක් තිබේ. පාකිස්තානයේ දේශපාලනය රඳා පවතින්නේ එරට හමුදාවේ ස්ථාපනය හෝ එය ස්ථාපිතව තිබෙන ආකාරය අනුවය. පාකිස්තාන හමුදාව ඉම්රාන් ඛාන්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනි සිටියේය. ඊට සෞදි අරාබියේ ද සහාය හිමි විය.  සෞදි අරාබියේ ප‍්‍රමුඛත්වයෙන් ස්ථාපිත කිරීමට නියමිත ‘මුස්ලිම් නේටෝ’ සංවිධානයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කිරීමට ද පාකිස්තාන හමුදාවේ හිටපු ප‍්‍රධානියෙක් එකඟත්වය පළ කර ඇත.
 
මේ අතරවාරයේදී පාකිස්තානයේ බලූකිස්තානයේ ආගමික ආයතන හා සෙමනේරිවලට අරමුදල් සපයන බවට ද සෞදි අරාබියට චෝදනා එල්ල වී තිබේ. එම ප‍්‍රදේශය ඉරාන විරෝධී සටන්කාමීන්ගේ ක්ෂේමස්ථානයක් බවට පත්ව ඇතැයි ද පැවසේ.
 
බලූකිස්තාන සහ එහි ඉරාන දේශසීමාවේ ෂියා විරෝධී කැරැුලි උත්සන්න වී තිබේ. ඒ හේතුවෙන් හමුදා සේනාංක ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ඇති වී තිබේ. මේ කරුණු සැලකිල්ලට ගැනීමේදී පාකිස්තාන විදේශ ප‍්‍රතිපත්තියේ නියම තීරණ ගන්නා බවට පත්ව ඇත්තේ හමුදාවයි.
 
පාකිස්තානය මුස්ලිම් ලෝකයේ ප‍්‍රබලයන් දෙදෙනාට කොටු වී ඇතැයි පෙන්වාදෙන රෆීක් එම නිසා පාකිස්තානය තම උපායමාර්ගික ස්ථානයේ වැදගත්, බලවත් හා තීරණාත්මක උපායමාර්ගික ස්ථානය හඳුනාගත යුතු යැයි ද පවසයි. 
හෙමින් දමන තල්ලූව බලෙන් කරන තල්ලූ කිරීමක් බවට පත්වූ විට කලින් සිටි නායකයන් මෙන් ඉම්රාන් ඛාන්ට ද පාකිස්තාන හමුදාවට ද සෞදි කඳවුරට වී නිහඬව බලා සිටීමට සිදුවනු ඇතැයි මයිකල් කු-ගෙල්මන් පෙන්වාදෙයි. 
ඇමෙරිකාව ඉරානය සමඟ ගිවිසුම් ගත බවක් පෙනෙන්නට නැත. එබැවින් ඉම්රාන් ඛාන්ට ගත හැකි හොඳම පියවර වනුයේ දැන් පවත්නා තත්ත්වය ආරක්ෂා කරගැනීමයි. 
 
සුදාෆ් චෞද්රි මිඞ්ල් ඊස්ට් අයි වෙබ් අඩවියට ලියූ ලිපියේ පරිවර්තනයකි
හර්ෂණ තුෂාර සිල්වා

RECOMMEND POSTS