ගැබිනි කතක් බලෙන් රට යවන්න ගිහින් අත් අඩංගුවේ
(විනීතා එම් ගමගේ)
ගැබිණි මවක වන තමන් සෞදි අරාබියේ ගෘහසේවයට බලෙන් යවන්නට තැත් කරන්නේ යැයි මාතලේ පදිංචි කාන්තාවක් කළ පැමිණීල්ලක් විභාග කළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය, සිද්ධිය පිළීබඳ සැක පිට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සංවර්ධන නිලධාරියෙකු අත් අඩංගුවට ගෙන ඇත.
මාතලේ පදිංචිකාරියක වන මෙම කාන්තාව කොළඹ පදිංචිකාරියක සේ පෙන්වමින් ඇගේ පවුල් පසුබිම් වාර්ථාව කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගෙන ඇති බවත්, එකී සංවර්ධන නිලධාරියා ඇයට පදිංචිය තහවුරු කරමින් ව්‍යාජ පවුල් පසුබිම් වාර්තාවක් සකස් කර දී එය සනාථ කර ඇති බවත් විශේෂ විමර්ශන ඒකකය කළ පරික්ෂණවලදී හෙළි වී ඇත.
විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් ලියකියවිලි සකස් කළ නමුත් තමන් දැන් ගැබිණියක බැවින් රට යන්නට නොහැකි යැයි එකී කාන්තාව ඒජන්සියට පැවසූ අවස්ථාවේ ලියකියවිලි සඳහා තමන් වියදම්කෙකාට ඇති බැවින් කෙසේ හෝ විදේශ ගත විය යුතු යැයි ඒජන්සිකරු තර්ජනය කොට තිබේ. ඊට අනුගත වෙමින් ඇය විදේශ ගත වීම සඳහා ගුවන්තොටුපල වෙත පැමිණ ඇති අතර එහිදී ඇය ගුවන්තොටුපල විදේශසේවා නියුක්ති කාර්යංශ කාර්යාලය වෙත මේ ගැන පැමිණිලි කර ඇත. පරීක්ෂණ අරඹා ඇත්තේ ඒ අනුවය.
ඒ අනුව ව්‍යාජ තොරතුරු සැපයීම සම්බන්ධව, මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලද අතර 2009 අංක 56 දරණ පණතින් සංශෝධිත 1985 අංක 21 දරණ කාර්යාංශ පණතේ වගන්ති 62 (1) (ආ) සහ 63 (ආ) ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදක් බැවින්, එම තැනැත්තා මීගමුව මහේස්තා‍්‍රත් අධිකරණයට ඉදිරිපත් කොට බන්ධනාගාර ගත කොට ඇත.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී කීර්ති මුතුකුමාරණ මහතාගේ සහ, විශේෂ විමර්ශන ඒකකයේ කළමණාකරු ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මාහින්කන්ද මහතාගේ උපදෙස් පරිදි, පොලිස් පරීක්ෂක ඩබ්. ඒ. බාලසූරිය, පොලිස් සැරයන් ඩී.එම්.ඩබ්.ඒ.බී දිසානායක මහතා විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.