රටේ ආර්ථිකයට වැඩි හයියක් ලැබෙන්නේ විදේශ රැකියාවලින්
විදේශ රැකියා ක්ෂේත්රය ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තිය නිර්මාණය කිරීමට ප්‍රධාන හේතුවක් වී ඇතැයි ද රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන විදේශ ක්ෂේත්රය අද තිබෙන තත්ත්වය තවත් උසස් කරමින් ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ආර්ථික හා වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අඟහරුවාදා (24) කොළඹදී ප්‍රකාශ කළේය.
විදේශ රැකියාවල නියුතුවූවන්ගෙන් බොහෝ පිරිසකගේ පවුල්වල පිරිස් අධ්‍යාපනය, සෞඛ්‍ය හා තවත් ක්ෂේත්රවලින් ප්‍රගතියක් පෙන්නුම් කරමින් යහපත් ජීවිත අත්පත් කරගෙන ඇතැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය. විදේශ රැකියාවල නියුතුවූවන්ගෙන් ලැබෙන ප්‍රේෂණවලින් ආර්ථිකයට ඉතා ඉහළ දායකත්වයක් ලැබෙන බවත් එම නිසා විදේශ රැකියා ක්ෂේත්රය සංවර්ධනය කරමින් අපේම ක්‍රමවලින් ආර්ථිකය දියුණු කිරීමට කටයුතු කරන බව ද පැවැසීය.
කොළඹ සිනමන් ලේක්සයිඞ් පැවැති අබුඩාබි සංවාදයේ අමාත්‍ය සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කරුණු කීය.
කොතරම් අර්බුද තිබුණ ද ඒවා ජයගනිමින් ආර්ථික සංවර්ධනය උදා කරගනිමින් රටේ වැසියන්ට යහපත් ජීවිතයක් උදා කර දීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.
අබුඩාබි සංවාදයත් කොළඹ ක්රියාදාමයත් ඔස්සේ විදෙස් ශ්‍රමිකයන්ගේ සුබසාධනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවලට මෙම ස්තූතිවන්න වෙනවා. එය සතුටට කරුණක්. අපි වෙනමම අමාත්‍යාංශයක් පිහිටෙව්වේ ඒ නිසයි. කම්කරු අමාත්‍යාංශයට බලන්න තිබෙන දේවල් විදේශ රැකියා අමාත්‍යාංශයට බැලීමට තිබෙන දේවල් හාත්පසින්ම වෙනස්. සංක්‍රමණික සේවකයන් මුහුණ දෙන ගැටලුත් රට තුළ සිටින ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටලුත් එකිනෙකට වෙනස්.
විදෙස් ශ්‍රමිකයන් අපේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයනවා. එය අපේ රටේ ප්‍රධාන මූලාශ්‍රයක්. විදෙස් ශ්‍රමිකයන් තේරීම, ඔවුන් නියාමනය කිරීම, සංක්‍රමණික සේවකයන් නැවත රටට පැමිණි පසු ඔවුන් ගැන සොයා බැලීම යන කරුණුවලට අපි වැඩි අවධානයක් යොමු කරනවා. මේ කටයුත්තට රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකමත් සම්බන්ධ සියලු පාර්ශවත් සම්බන්ධ විය යුතුයි. මෙම ක්‍රියාවලිය සාර්ථක වන්නේ එවිටයි.
ශ්‍රමිකයන් යවන රටවල් මෙන්ම ශ්‍රමිකයන් ලබාගන්නා රටවල් යන දෙක හමුවේ විවිධ අර්බුද තිබෙනවා. එම ගැටලු අද වනවිට අඩු වී තිබෙනවා ඒ අතින් ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා. තලතා ඇමැතිනිය මේ සම්බන්ධයෙන් කැපවීමෙන් කටයුතු කරනවා. විදේශ රැකියා ඇමැතිනිය වශයෙන් ඇය විශාල වැඩ කොටසක් ඉටු කරනවා. විදේශයක රැකියාවක නිරත වී විදේශ විනිමය රැගෙන රටට පැමිණි පිරිස්වලට සැලකීම සම්බන්ධයෙන් අපි සොයා බැලිය යුතුය. ඒ සම්බන්ධයෙන් සංවාදයක් ඇති කළ යුතුයි.
විදෙස් ශ්‍රමිකයන්ගේ පවුල්, ඔවුන්ගේ දරුවන්, එම දරුවන්ගේ අධ්‍යාපනය හා සෞඛ්‍ය යන ක්ෂේත්‍ර පිළිබඳ සොයා බැලිය යුතුයි. මාපියන් දෙදෙනාම විදෙස් රැකියාවක නිරත වී සිටින්නේ නම් එම පවුල්වල දරුවන් ගැන වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතුයි. විදෙස් රැකියාවල නිරතවන්නන්ගෙන් බොහෝමයක් කාන්තාවන්. මේ කරුණු සම්බන්ධයෙන් නිරන්තරයෙන් සංවාද ඇති කළ යුතුයි.
අද වනවිට ලෝකය හමුවේ සංක්‍රමණික අර්බුදයක් තිබෙනවා. සංක්‍රමණිකයන්, විදෙස් ශ්‍රමිකයන් ගැන සංවාදයක් ඇති කිරීමට ඒ සම්බන්ධයෙන් කතා කිරීමට අද හොඳ පසුබිමක් නිර්මාණය වී තිබෙනවා. දහනව වැනි සියවසේදී සංක්‍රමණික සේවකයන් සම්බන්ධයෙන් වැදගත් සිදුවීම් දෙකක් සිදුවුණා. ඇමෙරිකාවට, කැනඩාවට, ආජන්ටිනාවට හා ඕස්ටේ්රලියාවට අමතර ජනගහනය, ශ්‍රමිකයන් අවශ්‍ය වීම එක් සිදුවීමක්. ඊට යුරෝපයෙන් සැපයුම ලැබුණා. එම ශ්රමිකයන්ය ඉඩම් දුන්නා. සමහරු සාර්ථක වුණා. සමහරු අසාර්ථක වුණා.
අනෙක් සිදුවීම ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමක්. ඉන්දියාවේ හා චීනයේ ජනගහනය ලොව පුරා යැවුණා. ලෝකයේ විවිධ තැන්වල රබර්, සීනි, කොකෝවා, තේ කර්මාන්ත ඉදි කිරීම සඳහා ඔවුන් යොදා ගනු ලැබුවා. දුම්රිය මාර්ග ඉදිකිරීම් කරනු ලැබුවේ ආසියානු ශ්‍රමිකයන් විසින්. විශේෂයෙන්ම ඉන්දියානු හා චීන ශ්‍රමිකයන් එම කටයුතුවලට සම්බන්ධ වුණා. එම ඉදිකිරීම්වලින් පසුව ශ්‍රමිකයන් සම්බන්ධයෙන්, ඔවුන්ගේ විශ්‍රාම දිවිය ගැන සැලැස්මක් තිබුණේ නැහැ. බි්රතාන්ය, ප්‍රංශ හා ලන්දේසි අධිරාජ්‍යය විසින් ඔවුන් අත්පත් කරගෙන සිටි රටවලින් නික්ම ගියා. එහෙත් ඔවුන් රැගෙන ආ ශ්‍රමිකයන් සම්බන්ධයෙන් විසඳුමක් දුන්නේ නැහැ.
මේ තත්ත්වයට අපිත් මුහුණ දුන්නා. අපි කුඩා කාලයේ මෙය දුටුවා. බි්රතාන්යයන් ඉන්දියානු ශ්‍රමිකයන් ලංකාවට රැගෙන ආවා. එහෙත් බි්රතාන්යයන් යද්දි ඊට විසඳුමක් දුන්නේ නැහැ. අපි අර්බුදයකට මුහුණ දුන්නා. කෙසේ වෙතත් ඉන්දියාව හා සාකච්ඡා කර එම අර්බුදයට විසඳුමක් සෙවීමට අපේ රට සමත් වුණා. අපි ඉන්දියාව හා ගිවිසුමකට එක්වුණා. ඉන්දියානු ශ්‍රමිකයන්ට අපි පුරවැසිකම දුන්නා. තවත් පිරිසක් ඉන්දියාවට ගියා. බොහෝ පිරිසක් වැවිලි කර්මාන්තයට යොමුවුණා. අපි ඔවුන්ට සුබසාධනය සැපයුයා. රජය වශයෙන් ඔවුන් දෙස අවධානය යොමු කළා.
අපි අද ඔවුන් සම්බන්ධයෙන් කරුණු දෙකක් ඔස්සේ අවධානය යොමු කර තිබෙනවා. වැවිලි කර්මාන්තයේ, එසේත් නැතිනම් වතුකරයට සීමා වී මෙම පිරිස්වල දරුවන්ගේ විද්‍යා අධ්‍යාපනය උසස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. විද්‍යා විෂයවලට ප්‍රවේශ වීමේ අවස්ථා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා.
අනෙක් කරුණ මෙම පිරිස්වලට ඉඩම් දීම. බොහෝ පිරිසකට ඉඩම් නැහැ. එම නිසා අපි නිවාස හා වැවිලි කර්මාන්ත යටිතල පහසුකම් අමාත්‍යාංශය නිර්මාණය කළා. ඒ ඔස්සේ මෙම පිරිස්වලට අපි පර්චස් හතක් දීමට කටයුතු කරනවා. මෙම පිරිස්වලට මෙම පහසුකම් සපයන අතරම වැවිලි කර්මාන්තයෙන් පිටත රැකියාවල නිරත වීම කෙරෙහි ද ඔවුන් යොමු කළ යුතුයි. ඒ සඳහා ඔවුන් දිරිමත් කළ යුතුයි. මේ සියල්ල හා සැසඳීමේදී මෙය හොඳින් සැකැසුණු ක්‍රියාවලියක්.
අද වනවිට විදේශ රැකියා ක්ෂේත්රයේ නියාමනය වෙනවා. වෙනත් රටකට ගොස් සේවය කර විදෙස් විනිමය රැගෙන පැමිණෙනවා. මීට පෙර ශ්‍රමිකයන් යවන හා ශ්‍රමිකයන් ලබන රටවල් අර්බුද රැසකට මුහුණ දී තිබෙනවා. එහෙත් අද වනවිට එය අඩු වී තිබෙනවා. විදේශ රැකියාව ක්ෂේත්රය හොඳින් සැකැසුණු ක්‍රියාවලියක්. විදේශ රැකියාවල නිරත වන්නන් සේවයේ යොදවන සමාගම් ද අද නියාමනයට ලක්වෙනවා. නියාමනය යටතේ සියලු කරුණු පහසුවෙන් කළ යුතුයි.
පසුගිය වසර 40 ක කාලයේදී ලෝකය විවෘත වී තිබෙනවා. තෙල් තිබෙන රටවල්, තමන්ගේ කලාපයේ සංවර්ධනය මුදල් යෙදෙව්වා. ආර්ථිකයේ විශාල වෙනස්කම් සිදු වී තිබෙනවා. දොහා, උරුගුවේ ගිවිසුම්, ලෝක වෙළෙඳ සංවිධානය, ගැට් ගිවිසුම් ආදිය, නිදහස් වෙළෙඳාම ආදීය සිදුවෙමින් තිබෙනවා. නිදහස් වෙළෙඳාමක් තිබූ පමණින් ඕනෑම දෙයක් කළ නොහැකියි. භාණ්ඩ හා සේවා වෙළෙඳාම, අද ඉදිරියට පැමිණ තිබෙනවා. සාධරණ ලෙස වෙළෙඳාම සිදුවිය යුතුයි. ලෝක ආර්ථිකය එම කරුණු මත ඉදි වී තිබෙනවා. මේවා කඩා වැටුණොත් සමස්ත පද්ධතියම කඩා වැටෙනවා. ශ්‍රමිකයන්ට සේවා සපයන රටවල් කඩා වැටුණොත් ශ්‍රී ලංකාව වැනි රටවල් ද කඩා වැටෙනවා. එම රටවල සංවර්ධනය හා දියුණුව අඩාල වෙනවා වගේම අපි වගේ රටවල විදේශ විනිමය පහත වැටෙනවා.
යහපත් ජීවිතයක් සඳහා විදේශවලට යෑමෙන් අප වැනි රටවල සමාජ සංචලතාව ඉහළ ගොස් තිබෙනවා. විදෙස් ශ්‍රමිකයන්ගේ පවුල් බොහෝමයක් යහපත් ජීවිතයක් උදා කරගෙන තිබෙනවා. විදෙස් ශ්‍රමිකයන් නිසා අපේ රටේ මධ්‍යම පන්තියක් නිර්මාණය වී තිබෙනවා. ඔපෙක් නිසා, තෙල් නිෂ්පාදනය කරන රටවල ජනතාවට යහපත් ජීවිත උදා වී තිබෙනවා වගේම විදෙස් ශ්‍රමිකයන් නිසා අපේ ජනතාවගේ ජීවිත යහපත්වෙලා තිබෙනවා. එය සැලකිය යුතු කරුණක්. කේරළයේ මේ තත්ත්වය දැකිය හැකියි. විදේශ රැකියාවලින් ලැබුණු ප්‍රේෂණවලින් කලාපයක් සංවර්ධනය කර තිබෙන අයුරු කේරළයෙන් බලාගන්න පුළුවන්.
විදේශ රැකියා ක්ෂේත්රය යනු ආර්ථික සංවර්ධනයේ එක් කොටසක්. එය අමතක කරන්න අපට බැහැ. ඒ තුළින් ආර්ථිකයට ලැබෙන දායකත්වය ඉතා විශාලයි. විදේශ රැකියා අංශය ඉදිරියට යා යුතුයි. මම පසුගිය සතියේ ඩාවෝස් නුවර ලෝක ආර්ථික සමුළුවට සහභාගී වී සිටියා. මේ සම්බන්ධයෙන් ලෝක නායකයන් කතා කළා. මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් ඔවුන් කතා කළා. ප්‍රශ්න කතා කළා. ගෙවුම් ශේෂ අර්බුද, සංක්‍රමණික අර්බුද හැම රටකම අර්බුද තිබෙන බවත් ඒවා නිසි ආකාරයෙන් විසඳිය යුතු බවත් එහිදි සාකච්ඡා කළා.
ආසියාවේත් ශාන්තිකරයේත් දියුණුව ගැන එහිදි වැඩි අවධානයක් යොමු වුණා. දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වෙමින් තිබෙන කලාපය බවට පත්ව තිබෙනවා. ඉන්දියානු සාගරය, ඉන්දුනීසියාවේ සිට දකුණු අප්‍රිකාව දක්වා වේගයෙන් වර්ධනය වෙමින් තිබනෙවා. එම නිසා අපි අපේ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ගෝලීය ආර්ථිකය, කලාපය දියුණු වෙනවා. විදේශ රැකියා ක්ෂේත්රය දියුණු වෙනවා. ඒ නිසා අපට පැත්තකට වෙලා ඉන්න බැහැ. ලංකාව ඉන්දියානු සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානයේ බවට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටිනවා. එහිදි ව්‍යාපාර සැපැයුම් සඳහා විශේෂ අවධානයක් යොමු කරනවා. අපි අපේම ක්‍රම සොයාගත යුතුයි. බංග්ලාදේශය, නේපාලය මේ කරුණු අවබෝධ කරගෙන තිබෙනවා. කොතරම් අර්බුද තිබුණත්, අනාගතය ජයගැනීම සඳහා අපි කටයුතු කළ යුතුයි. ඉදිරියට යා යුතු” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
මෙහිදි අදහස් දැක් වූ විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය මෙසේ කීවය.
“මෙහි සිටින සියලු දෙනාට මම ස්තූති කරනවා. ශ්‍රී ලංකාවට අබුඩාබි සංවාදයේ සභාපතීත්වය වසර දෙකකට ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් සාමාජික රටවලට සුබ පැත-ුම් එක් කරනවා. ජනාධිපතිවරයාත්, අග්රමාත්යවරයාත් මේ අමාත්‍යාංශයට විශාල දායකත්වයක් සපයනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය වසර 2008 දී අබුඩාබිහිදි ශ්‍රම ප්‍රභව හා ගමනාන්ත රටවල් හා අනෙකුත් රටවල් සම්බන්ධ වෙමින් මේ ක්‍රියාවලියට මුල පිරුවා. ශ්‍රී ලංකාවට මෙම අබුඩාබි සංවාදයේ සභාපතීත්වය ඉදිරි වසර දෙකට ලබාදීම සම්බන්ධයෙන් සතුටට පත්වන අතර එය ගෞරවයක් බවත් පැවැසිය යුතුයි.
ඉදිරියේදී ලොව අනෙක් රටවල් හා සහයෝගීයෙන් කටයුතු කරමින් මෙම සංවාදය ඉදිරියට ගෙන යෑමට අපි කටයුතු කරනවා. ඒ සඳහා ශ්‍රී ලංකාව කැපවීමෙන් කටයුතු කරනවා. විදේශ රැකියා ප්‍රවර්ධනය, විගමනික සේවකයන්ගේ යහපැවැත්ම, සුබසාධනය හා ආරක්ෂාව සම්බන්ධයෙන් කැපී වී කටයුතු කරන බව පැවැසීමට කැමැතියි. විනිවිදභාවය සහිතව සාමාජික රටවල් අතර ජාත්‍යන්තර සංවිධාන සමඟ කටයුතු කරමින් සංවාදය ඉදිරියට ගෙන යමින් සාර්ථකත්වය කරා ගමන් කරනවා” ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය.
දැනට අබුඩාබී සංවාදයේ සභාපතීත්වය දරන්නේ කුවේට් රාජ්‍යයයි. එරට නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ එය කුවෙට් හි සමාජ කටයුතු හා කම්කරු ඇමතිනි හින්ද් සබි අල් සබි විසින් අබුඩාබි සංවාදයේ සභාපතීත්වය ඉදිරි වසර දෙක සඳහා ශ්‍රී ලංකාවට පිරිනැමුවාය. විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය මෙහිදි එය සංකේතාත්මකව බාරගත්තාය.
මෙම අවස්ථාවේදී සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් විලියම් ලැසි ස්වින්ග් මහතාද අදහස් දැක්වීය.
ජීනිවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා ස්විට්සර්ලන්තයේ කවුන්සලර් ජෙනරාල් රවිනාථ ආර්යසිංහ, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
හර්ෂණ තුෂාර සිල්වා / ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා