හෙමින් දියවෙන අයිස් ක්‍රීම්



ඇඳුම්වල පෙරා ගෙන, මූණ හැමතැනම තවරාගෙන අයිස් ක්‍රීම් කෑ කාලය අවසන් බවත්, සෙමින් සෙමින් දියවෙන අයිස් ක්‍රීම් වර්ගයක් ලොවට හඳුන්වා දීමටත් බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ සහ පර්යේෂකයෝ පිරිසක් මේ වනවිට සමත්ව සිටිති. ඔවුන් මෙම නව අයිස් ක්‍රීම් නිර්මාණය කර ඇත්තේ, ජපානයේ උදේ කෑම වර්ගයක් අනුවය.

පර්යේෂකයන් සහ විද්‍යාඥයන් මෙම නව අයිස්ක්‍රීම් වර්ගය නිර්මාණය කර ඇත්තේ, විශේෂ ප්‍රෝටීන වර්ගයක් භාවිතා කරමිනි. ඒ අනුව, එය දිය නොවී දීර්ඝ වේලාවක් එකට ඇලී පවතිනු ඇත. මෙම විශේෂ ප්‍රෝටීනය දකින්න ලැබෙන්නේ ජපානයේ ප්‍රකට උදෑසන ආහාරයක් ලෙස සැලකෙන නැටෝ තුළය. නැටෝ උදෑසන ආහාරයේ එම ප්‍රෝටීන් ස්වභාවිකව ඇතිවන්නකි. බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයේත්, ඩන්ඩී විශ්ව විද්‍යාලයේත් විද්‍යාඥයන් සහ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, එම ප්‍රෝටීනය අයිස් ක්‍රීම්වලට එක් කිරීමෙන් ඒවා ඉක්මනින් දිය නොවන බවය.

එපමණක් නොවේ, අධි සීතලට පවා එම අයිස් ක්‍රීම් මිදෙන්නේ නැතිව ක්‍රීම් රසයෙන් යුක්තව රස නොනැසී පවතින බව ද පැවැසෙයි. එපමණක් නොව, කැලරි අඩු ප්‍රමාණයකින් අයිස් ක්‍රීම් නිර්මාණය කිරීමට ද මෙය උපකාරි වන බව පැවැසෙයි. මෙම ප්‍රෝටීන යෙදූ නව අයිස් ක්‍රීම් තව වසර තුනකින් හෝ හතරකින් වෙළෙඳපොළෙට හඳුන්වා දෙන බව පරියේෂකයෝ වැඩි දුරටත් කියා සිටිති.

නැටෝ ප්‍රෝටීනය ලැබෙන්නේ සෝයා බොංචිවලිනි. නැටෝ යනු සෝයා බොංචි සහ බත් සමඟ මසු කළ උදෑසන ආහාරයකි. අප උදෑසන මුං කිරි බත් ආහාරයට ගන්නා සේ, ජපන් වැසියෝ නැටෝ ආහාරයට ගනිති. නැටෝ ප්‍රෝටීනයේ ඇලෙසසුළු ගතිය වැඩිය. සෙසු සංඝටක එකිනෙක බැඳ තබා ගැනීමට ඊට හැකියාව ඇත.

එහි ඇත්තේ චීස් සුවඳක් බව ද පර්යේෂකයෝ වැඩි දුරටත් පැහැදිලි කරති. සෝයා බෝංචිවල නිර්මාණය වන මෙම ප්‍රෝටීන හැඳින්වෙන්නේ ‘බයෝෆිල්ම් සර්ෆස්ලෙවල් ඒ’ යනුවෙනි. වායු බුබුළු එකිනෙක ඇදබැඳ ගැනීමට මෙම ප්‍රෝටීනයට හැකිවෙයි. ‘මෙම නව ප්‍රෝටීනය ලොව පුරා අයිස් ක්‍රීම් නිර්මාණකරුවන්ගේ අවධානයට ලක් වනු ඇතැයි අපේ විශ්වාසයයි. අප මුලින්ම මෙම ප්‍රෝටීන් යොදා ගෙන අයිස් ක්‍රීම් නිර්මාණය කරනවා. ඉන්පසු ඒ අනුව ලොව ප්‍රධාන පෙළේ අයිස් ක්‍රීම් නිෂ්පාදකයන් නව ප්‍රෝටීන මිශ්‍ර අයිස් ක්‍රීම් නිර්මාණය කරනු ඇත.’ යැයි පර්යේෂකයෝ පැහැදිලි කරති.

ප්‍රෝටීනය කෘත්‍රිමව නිර්මාණය කිරීමට ඉන්ජිනේරු සහ භෞතික විද්‍යා පර්යේෂණ ආයතනයේත්, ජෛව තාකෂණ සහ ජෛව විද්‍යා පර්යේෂණ ආයතනයේත් සහාය තමන්ට හිමිවන බව බටහිර පර්යේෂකයෝ කියති. බි්‍රතාන්‍යයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයේත්, ඩන්ඩී විශ්ව විද්‍යාලයේත් විද්‍යාඥයන් සහ පර්යේෂකයන් ‘බයෝෆිල්ම් සර්ෆස්ලෙවල් ඒ’ ප්‍රෝටීනය ගැන පර්යේෂණ ආරම්භ කර ඇත්තේ අවුරුදු ගණනකට කලිනි. එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ භෞතික සහ තාරකා විද්‍යාඥ මහාචාර්ය කෙයිට් මැක්පී ඬේලිමේල් පුවත් වෙබ් අඩවියට අදහස් දැක්වීමට අමතක නොකළාය.

‘අයිස් ක්‍රීම් වෙනස් කිරීමට නව ප්‍රෝටීනයක් භාවිතා කරන්න අප සමත් වුණා. ඇත්තෙන්ම එය අලුත් සොයා ගැනීමක් කියන්නත් පුළුවන්. අයිස්ක්‍රීම්වලට ප්‍රිය කරන්නන් පමණක් නොවේ, අයිස් ක්‍රීම් නිෂ්පාදකයන්ටත් අපේ මෙම අලුත් සොයා ගැනීම සතුටුදායක ආරංචියක් වේවි. සැකයක් නැහැ’ නව ප්‍රෝටීනය යොදා ගෙන අයිස් ක්‍රීම්නිර්මාණය කිරීමේ නව වැඩසටහනේ ප්‍රධානියා වන්නේ ඇයයි. ‘බැක්ටීරියා වෙනස් කරමින්, ඒවා වාසියට ගෙන නව ප්‍රෝටීන වර්ගයකින් අයිස් ක්‍රීම් නිපදවීම ඇත්තටම අපූරු අදහසක්’ මෙසේ කියන්නේ ආචාර්ය නිකොලා ස්ටැන්ලි වේල්ය. මොහු ඩන්ඩී විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් නව සොයා ගැනීමට දායක වී සිටී.

අයිස් ක්‍රීම් නිපදවූයේ කවුරුදැයි කෙනෙක් ඇසුවොත්, ඒ කවුරුදැයි නිවැරදිව කීමට හැකියාවක් නැත. හේතුව අයිස් ක්‍රීම් මුලින්ම නිපදවූයේ කවුරුදැයි අපි නොදන්නෙමු. අයිස් ක්‍රීම් ඉතිහාසය ක්‍රි.පූ. 200 තරම් ඈතට දිවෙනවා යැයි කීවොත් ඔබ පුදුම වනු ඇත. පුරාණ චීන වැසියෝ බත් පීරිසකට එළකිරි දමා ඒවා හිමේ මිදෙන්න සලස්වා ආහාරයක් නිපදවා ගත්හ. අද අප අයිස් ක්‍රීම් යනුවෙන් හඳුන්වන රසවත් අතුරුපස ආරම්භ වන්න ඇත්තේ එසේ යැයි පැවැසෙයි. චීනයේ ෂැංග් රජ පෙළපතේ ටැංග් නමැති රජතුමා විවිධ වර්ණවලින් යුත් ‘අයිස් ක්‍රීම්’ කෑමට ප්‍රිය කළ බව ද පැවැසෙයි.

හිම සහ ලුණු මුට්ටිවලට දමා ඒවාට සීනි මිශ්‍රණ එක් කරමින් අයිස් ක්‍රීම් නිෂ්පාදන යන්ත්‍ර පවා පුරාණ චීන වැසියෝ භාවිතා කළහ. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා පවා හිම සහ මී පැණි මුසු කළ ‘අයිස් ක්‍රීම්’ කෑමට ප්‍රිය කළ තැනැත්තෙකු යැයි ඉතිහාසයේ සඳහන් වෙයි. රෝමයේ නිරෝ කලෝඩියස් අධිරාජ්‍යයා ද හිම, අයිස් පළතුරු යුෂ මුසු කොට ආහාරයට ගත් බව පැවැසෙයි. වර්තමානයේ අප දකින අයිස් ක්‍රීම් බිහි වූයේ  චීනයට ගිය දේශගවේෂක මාකෝ පොලෝ අයිස් ක්‍රීම් පිළිබඳ දැනුම යළි ඉතාලියට රැගෙන යෑමෙන් පසුවය. මුලින් එය සරුවත් මිශ්‍රණයක් විය. 1600 දශකයේ එංගලන්තයේ පළමු චාල්ස් රජු ද අයිස් ක්‍රීම් කෑමට ප්‍රිය කළේය.

ඬේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS