සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නියමුවා



20 වැනි සියවසේ වඩාත් බලගතු චරිතය ලෙස සැලකෙන මිහායිල් ගොර්බචොව් දිවි ගමන නිමා කළේය. නිරවි යුද්ධය අවසන් කරමින්, ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර බල කඳවුර සහ සෝවියට් දේශය ප්‍රමුඛ නැගෙනහිර බල කඳවුර අතර පැවැති විරසකය අවසන් කළ ගොර්බචොව් අවසන් සෝවියට් නායකයාය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතර භූ දේශපාලනික වශයෙන් ගැටුමක් නිර්මාණය විය. ඇමෙරිකාව සහ සෝවියට් දේශය තමන් සතු බලගතු අවි අමෝරා ගනිමින්, එකිනෙකාට තර්ජනය කර ගැනීම ‘නිරවි යුද්ධය’යි. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 91 කි. පසුගිය වසර කීපය තිස්සේ ගොර්බචොව් දරුණු ලෙස රෝගාබාධ රැසකට මුහුණ දුන්නේය. ඔහු වැඩි කාලයක් ගත කළේ රෝහල්වලය. පසුගිය ජූනි මාසයේ ඔහු රෝහල් ගත කෙරුණේ වකුගඩු අක්‍රිය වීමෙනි.

මිහායිල් ගොර්බචොව් උපන්නේ 1931 මාර්තු 2 වන දා දකුණුදිග රුසියාවේ ස්ටව්රොපෝල් ප්‍රදේශයේ ප්‍රිවොල්නි ගම්මානයේ ගොවි පවුලකටය. ගොර්බචොව්ගේ පියා රුසියානුවකු වූ අතර මව යුක්‍රේන කාන්තාවක වූවාය. ගොර්බචොව්, මව සහ පියා සමඟ කුඩා කාලයේ පටන් ගොවිපොළ කටයුතුවල නියැළුණේය. කුඩා කාලයේ ගොර්බචොව් පවුල සාගතයෙන් බැට කෑ අතර. පසු කලෙක ගොර්බචොව්ගේ පියා සහ මව බොරු චෝදනා මත අත්අඩංගුවට ද ගත් බව ද පැවැසෙයි.

1950 දී නීතිය හැදෑරීම සඳහා මොස්කව් සරසවියට ඇතුළු වූ ගොර්බචොව්ට සිය අනාගත බිරිඳ වූ රයිසා මුණ ගැසුණි. රයිසා නාගරික කාන්තාවකි. නගරයේ සිරිත් විරිත් ගොර්බචොව්ට හුරු කළේ ඇයයි. දෙදෙනා විවාහ වූයේ විවාහ වූයේ 1953 දීය. ගොර්බචොව් යුවළගේ එකම දියණිය වූ ඉරීනා උපන්නේ 1957 දීය. 1999 දී ලියුකේමියාව හේතුවෙන් ඇය මිය යන තුරු ම ගොර්බචොව් ඇය තනි නොකළේය. 1955 වසරේ මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් උපාධිය හිමිකරගන්නා විටත්, ගොර්බචොව්, රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ කැපී පෙනෙන ක්‍රියාකාරිකයෙක් විය.

1922 දෙසැම්බර් 30 වැනිදා ලෙනින්ගේ සිට, 1991 දෙසැම්බර් 26 වැනිදා ගොර්බචොව් තෙක් සෝවියට් දේශයේ පැවැතියේ මාක්ස් - ලෙනින්වාදී සමාජවාදී ආණ්ඩු ක්‍රමයකි. තනි දේශපාලන පක්ෂ ක්‍රමයක් ඇති රටක් ලෙස සැලකුණු එය, රුසියානු කොමියුනිස්ට් පක්ෂය මඟින් පාලනය කෙරිණි. 1985 වසරේ දී බලයට පත් මිහායිල් ගොර්බචොව්, නිරවි යුද්ධය හේතුවෙන් පැවැති විරසක අවසන් කරමින්, සෝවියට් සමූහාණ්ඩුව සහ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අතරේ යහපත් සබඳතා ගොඩනැගීමට සමත් විය.
නව ප්‍රතිසංස්කරණ මාලාවක් ම හඳුන්වා දුන්නේය.

ආසියාවත්, නැගෙනහිර යුරෝපයත් පුරා වසර 70 කට වැඩි කාලයක් තිස්සේ පැවැති සෝවියට් සමූහාණ්ඩුව කැබැලිවලට කැඩීමට කැඩී යෑමේ ආරම්භය මෙසේ සනිටුහන් විය. ඒ අනුව, ගොර්බචොව් ඇමෙරිකාවේ වීරයකු වූ නමුත් රුසියානුවන්ගේ අප්‍රසාදයට ලක් විය.  සෝවියට් දේශය බිහිවී තිබුණේ රුසියාව, යුක්රේනය, බෙලරුසියාව සහ ට්‍රාන්ස් කොකේසියන් රාජ්‍ය එක්වෙමිනි. 1991 වන විට බෝල්ටික් සමූහාණ්ඩුව, ලත්වියාව, ලිතුවේනියාව, එස්තෝනියාව, මොල්ඩෝවා, ආර්මේනියා සහ ජෝර්ජියාව සෝවියට් දේශයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍ය බවට පත් විය.

සෝවියට් දේශය එසේ බිඳී ගිය පසු රුසියාවේ ජනාධිපති ධුරයට පත් වූයේ බොරිස් යෙල්ට්සින්ය. අනතුරුව රුසියාවේ බලයට පත්, වත්මන් ජනාධිපතිවරයා ලෙස  කටයුතු කරන වැලැදිමීර් පුටින් ය. 2000 සිට 2008 දක්වා දෙවරක් පුටින් ජනාධිපති ධුරයට පත් විය. ඉන් සිවු වසරකට පසු 2012 වසරේ දී පුටින් යළිත් රුසියාවේ නායකත්වයට පත් පත්විය.  මිහායිල් ගොර්බචොව්ගේ අභාවය සැලවුණු සැණින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ශෝක පණිවුඩයක් නිකුත් කළේය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කියා සිටියේ මිහායිල් ගොර්බචොව් ලෝක ඉතිහාසය වෙනස් කළ නායකයකු බවය. ‘ලෝක සාමය වෙනුවෙන් කැපවුණු. ලෝක සාමය වෙනුවෙන් වැඩ කළ නායකයකු ලෙස මා මිහායිල් ගොර්බචොව් දකිනවා’ යැයි ගුටරේස්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන් වී තිබේ.

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, මිහායිල් ගොර්බචොව් ගැන ශෝක පණිවුඩයක් නිකුත් කළේ ගොර්බචොව් දුර්ලභ ගණයේ නායකයකු බව පෙන්වා දෙමිනි. නිරවි යුද සමයේ පැවැති ‘භූගෝලීය දේශපාලනික ආතතිය’ තුරන් කිරීමට ගොර්බචොව් කළ කැප කිරීම් ඇගැයීමට ලක් කිරීමට ද බයිඩන් අමතක නොකළේය. යුරෝපා සංගමයේ ප්‍රධානී යුර්සුලා වොන් ඩර් ලින් කියා සිටියේ නිදහස් යුරෝපයක් ඇති කිරීමට මඟ සකස් කළ දුන්නේ මිහායිල් ගොර්බචොව් කියාය. ගොර්බචොව්ගේ උරුමය අමතක නොවන එකක් යැයි ද යුරෝපා සංගම් ප්‍රධානියා වැඩි දුරටත් පැවැසුවාය.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS