වාර්තා අතරට ගිය දිගම දුම්රිය



ලෝක වාර්තාවක් ගැන කියන්නයි මේ සූදානම. ලෝක වාර්තාව දිගම දුම්රිය ගැනය. නැහැ. වාර්තාව පිහිටුවූයේ ලංකාවේ දුම්රියක් නම් නොවෙයි. ලංකාවේ දුම්රිය සේවය ගැන කියන්න ඇත්තේත් අසන්න ලැබෙන්නේත් කනගාටුදායක පුවත් පමණි. පසුගිය දා එකම ස්ථානයේ දුම්රිය පීලි පැනීමෙන් දුම්රිය මගීහු මහත් සේ පීඩාවට පත්වූහ.

ශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව ගැනත් දුම්රිය සේවය ගැනත් දුම්රිය මගීන් තුළ ඇත්තේ අප්‍රසාදයකි. දුම්රිය සේවය ජනතාවට කැපවුණු සේවාවක් වනු දැකීම සිහිනයකි. දිගම මගී දුම්රිය ධාවනය කරමින් මේ අපූරු ලෝක වාර්තාව පිහිටුවා ඇත්තේ ස්විට්සර්ලන්තයයි.

ස්විට්සර්ලන්තය යනු ජීවත් වීමට සුදුසු ලොව නිදහස් රාජ්‍යයක් යැයි කීවොත් එය නිවැරදිය. ස්විට්සර්ලන්තය යුරෝපා කලාපයේ සුන්දර රාජ්‍යයකි. යුරෝපයේ සංචාරක ආකර්ශණයකි. ස්විට්සර්ලන්ත ඇල්ප්ස් කඳුකරය වඩාත් ප්‍රකට සීත කාලයේ හිම ක්‍රීඩාවලටය. හිම ක්‍රීඩාවලින් ලෝක වාර්තා රැසක් පිහිටුවා ඇත. ඒත් දිගම දුම්රියෙන් මෙම ලෝක වාර්තාව පිහිටුවීම සිදුවූයේ හිම මත නොව රේල් පීල්ල මතය.

ස්විට්සර්ලන්තයේ RhB (Die Rhätische Bahn) දුම්රිය සේවයට වසර 175 ක් සැපිරිණි. ඒ, නිමිත්තෙන් දුම්රිය සමාගම, මෙසේ මැදිරි 100 ක් සවි කළ විශේෂ දුම්රියක් ධාවනය කළේය. ගිනස් ලෝක වාර්තාවක් වූයේ එයයි. මෙම දිගම දුම්රියේ දිග කිලෝමීටර් 2 ආසන්නය. (හරියටම කීවොත් කිලෝ මීටර් 1.9 කි) බර ටොන් 2990 කි. දුම්රිය ධාවනයට රියදුරන් හත් දෙනකු යොදා ගත් අතර නියාමකවරු 21 ක් එක් වූහ. ස්විට්සර්ලන්තයේ වේලාවෙන් පසුගිය 30 වැනිදා පස්වරු 2.20 ට දූම්රිය ගමන ආරම්භ කෙරුණි.

දුම්රිය ධාවනය කිරීම සිදුවී ඇත්තේ ඇල්ප්ස් කඳුකරය හරහා වැටී ඇති, නැගෙනහිර ස්විට්සර්ලන්තයේ ප්‍රේඩා නුවර සිට ඇල්වෙනෝ නගරය තෙක් දිවෙන දර්ශනීය දුම්රිය මාර්ගයකය. දුම්රිය මාර්ගය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 999.3 ක් ඉහළින් යැයි පැවැසෙයි. මෙම දුම්රිය මාර්ගය යුනෙස්කෝ ලෝක උරුමයක් ද වෙයි. දුම්රිය මාර්ගය ලෝක උරුමයක් ලෙස නම් කෙරුණේ, 2008 වසරේදීය. දුම්රිය මාර්ගය, උමං22 කින් සහ පාලම් 48 කින් සමන්විතය.

ස්විට්සර්ලන්තයේ දුම්රිය සමාගම් කීපයකි. එයින් පළමු දුම්රිය සමාගම වන්නේ RhB (Die Rhätische Bahn) ය. කැප්රිකෝන් නමැති නව විදුලි දුම්රිය එකිනෙක සම්බන්ධ කරමින් මෙම තනි දිගම දුම්රිය සැකැසිණි. කැප්රිකෝන් විදුලි දුම්රිය 25 ක් එකිනෙක සම්බන්ධ කෙරුණු බව දුම්රිය සමාගම පැහැදිලි කර තිබුණි. කිලෝ මීටර් 25 ක දුරක් යෑමට දුම්රියට පැයක කාලයක් ගත වුණැයි ද පැවැසෙයි.

සී.එන්.එන්. ඇසුරිනි


RECOMMEND POSTS