ලෝකය බිය කළ කොරෝනා විකෘතිය



‘හෙම්බිරිස්සාවට බෙහෙත් නැහැ. හෙම්බිරිස්සාවට හේතුව වයිරසයක්. බැක්ටීරියා ආසාදන මෙන් නොවෙයි, වයිරස ආසාදනවලට බෙහෙත් සෙවීම පහසු කාර්යයක් නොවෙයි. ඊට ප්‍රධාන හේතුව, වයිරසයක්, එක් පුද්ගලයකුට බෝ වී, එම පුද්ගලයාගෙන් තවත් පුද්ගලයකුට බෝ වන්නේ වෙනස් වෙමින්. එසේ වෙනස් වෙමින් යද්දී, වයිරස ජානමය වශයෙන් විකෘති වෙනවා. ඒක එක්තරා ආකාරයකට පරිණාමය වීමක්. ඒ අනුව විකෘති ප්‍රභේද නිර්මාණය වෙනවා. වයිරස යනු සජීවී දෙයක්. වයිරසයක් අඩපණ කිරීමට එන්නත් හෝ ඔසුවක් හෝ නිර්මාණය කළොත්, වයිරසය එයින් බේරීමට සිය ස්වරූපය වෙනස් කර ගන්නවා. වයිරසය කැමති නෑ අඩපණ වෙන්න. කොහොම හරි දිවි රැක ගන්නයි හදන්නේ. වයිරසවල ස්වභාවය එයයි. එසේ වූ විට නිපදවන එන්නතකින් හෝ ඔසුවකින් හෝ පලක් වන්නේ නැහැ.’  - ලන්ඩන් රාජකීය විද්‍යාලයේ මහාචාර්ය එරික් වෝල්ට්ස්.

ලොව අප කාටත් හිසරදයක් වූ ‘කොවිඩ් 19’ වයිරසය, පරාජය කළ හැකි යැයි යන සුබවාදී සිතුවිල්ල පහළ වූයේ, ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම් එක් වී, නිපදවා ඇති එන්නත රටවල් රැසක භාවිතයට ගැනීමත් සමඟය. ‘ෆයිසර්’ එන්නත පළමුවෙන් ලබා දීම ආරම්භ වූයේ මහා බ්‍රිතාන්‍යයෙනි. දෙවනුව ඇමෙරිකාවෙනි. මේ වනවිට තවත් රටවල් 10 කට වැඩි ප්‍රමාණයක් ‘ෆයිසර්’ ප්‍රතිශක්තිකරණ එන්නතට අනුමැතිය දී ඇති අතර, එම රටවල එන්නත්කරණ වැඩසටහන් පවා ආරම්භ වී තිබේ. ඊට අමතරව, ඇමෙරිකාවේ ‘මොඩර්නා’ ජෛව පර්යේෂණ සමාගම නිපදවූ එන්නත ද ඇමෙරිකානුවන්ට ලබා දීම පසුගිය 22 වැනිදා ආරම්භ විය.

‘කොවිඩ් 19’ වයිරසය, පරාජය කළ හැකි යැයි බලාපොරොත්තු දැල්වෙද්දී, ‘කොවිඩ් 19’ වයිරසයේ විකෘති වූ නව වයිරස ප්‍රභේද දෙකක් එංගලන්තයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් හමුවීමට පටන් ගත්තේය. ඒ, පසුගිය 21 වැනිදාය. මෙම ප්‍රභේද දෙක එකිනෙකට වෙනස්ය. මහා බ්‍රිතාන්‍යය එසේත් නැතිනම් එක්සත් රාජධානිය ලෙස හැඳින්වෙන්නේ එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තයයි. ‘කොවිඩ් 19’ නව ප්‍රභේදය ආරම්භ වී ඇත්තේ එංගලන්තයේ නිරිත දෙසිනි. පසුගිය 24 වැනිදා වනවිට, නව වයිරස ප්‍රභේදය ආසාදනය වූ කොවිඩ් ආසාදිතයන් එංගලන්තයෙන් පමණක් නොව, වේල්සයෙන්, ස්කොට්ලන්තයෙන් සහ අයර්ලන්තයෙන් ද වාර්තා විය.

බ්‍රිතාන්‍ය රජය විසින් පත් කරනු ලැබූ ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය වැළැක්වීමේ විද්වත් කමිටුව පැහැදිලි කර ඇති අන්දමට, මෙම නව වයිරස ප්‍රභේදය එංගලන්තයේ නිරිත දෙසින් ව්‍යාප්තවීම ආරම්භ වී ඇත්තේ පසුගිය සැප්තැම්බරයේය. මෙම දෙසැම්බරය වනවිට කොරෝනා ආසාදිතයන්ගෙන් තුනෙන් දෙකකට නව ප්‍රභේදය ආසාදනය වී ඇතැයි ලන්ඩන් රාජකීය විද්‍යාලය ඔවුන්ගේ අධ්‍යයන වාර්තාවක් මගින් පෙන්වා දී ඇත.

මෙම නව ප්‍රභේදයේ ගැන කලබල විය යුතු නැන. නමුත් බිය විය යුතුය. ඊට හේතුව, මෙහි සම්ප්‍රේෂණ වේගය සාමාන්‍ය ‘කොවිඩ් 19’ වයිරසයට වඩා සියයට 70 ගුණයකින් වැඩිය. මේ බව බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන් මේ වනවිට තහවුරු කර ගෙන තිබේ. ඒ, එහි විකෘති ජාන සැකසුම, සාමාන්‍ය කොරෝනා වයිරසයේ ජාන සැකසුම සමඟ සන්සන්දනය කිරීමෙනි. පී.සී.ආර්. පරීක්ෂණවලින් වයිරසය පහසුවෙන් හඳුනා ගැනීමට අපහසු යැයි පැවැසුවත්, ඒ බව තහවුරු වී නැත.

පසුගිය දින 28 ඇතුළත, මෙම නව ප්‍රභේදය හේතුවෙන් පමණක්, එංගලන්ත 326 ක් ජීවිතක්ෂයට පත්ව ඇත. මේ බව පැවැසුවේ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් (ඇමති) මැට් හැන්කොක්ය. නව ප්‍රභේදය බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පාලනයෙන් ගිලිහි ගොස් ඇතැයි සෞඛ්‍ය ලේකම්වරයා මෙන්ම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද පෙන්වා දුන්හ. ඒ අනුව, නව ප්‍රභේදය සම්බන්ධයෙන් ලොව පුරා බියක් හටගත්තේය.

‘විකෘතිකරණයට ලක්වුණු මෙම නව ප්‍රභේදය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ. මෙම ප්‍රභේදය සාමාන්‍ය කොවිඩ් 19 වයිරසයෙන් වෙනස් වන්නේ මෙය සම්ප්‍රෂේපණය වීම වේගවත් නිසයි. සාමාන්‍ය කොවිඩ් 19 වයිරසයට වඩා සියයට 70 ක වේගයකින් මෙය පැතිරෙනවා. වෙනසකට ඇත්තේ එපමණයි. මෙම වයිරස ප්‍රභේදය පාලනය කර ගැනීමට ඒ අනුව හැකියාවක් පවතිනවා.’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ඒකකයේ ප්‍රධානී වෛද්‍ය මයික් රයන් පැවැසුවේය.

කෙසේ නමුත්, නව වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය බිය පළ කරද්දී ඉන්දියාව, සෞදිය, ඕමානය, කුවේටය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, අයර්ලන්තය, කැනඩාව, තුර්කිය, ඊශ්‍රායලය, ඉරානය, නෙදර්ලන්තය, පෝලන්තය, බෙල්ජියම, ඔස්ට්‍රියාව, ස්වීඩනය, ෆින්ලන්තය, ස්විට්සර්ලන්තය, රුසියාව, චිලී රාජ්‍යය, එල් සැල්වදෝරය පමණක් නොව දකුණු අප්‍රිකාව පවා හැකි ඉක්මණින් ගුවන් සහ මුහුදු මාර්ග වසා දැමීය.

කෙසේ නමුත්, පසුගිය 24 වැනිදා වනවිට, ඩෙන්මාර්කයෙන්, නෙදර්ලන්තයෙන්, ඉතාලියෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් මෙම නව ප්‍රභේදය ආසානය වූ රෝගීන් හමුවිය. ඉතාලියෙන් හමුවූයේ ඉතාලි ජාතිකයෙකි. ඕස්ට්‍රේලියාවෙන් හමුවූයේ ඕස්ට්‍රේලියාවට ගුවනින් ආ බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකි.

මහා බ්‍රිතාන්‍යයට තහංචි පැනැවීමෙන් පසු එරට සිට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයන් පස්දෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පසුගිය 22 වැනිදා නිවේදනය කළේය. එම පස්දෙනාට ආසාදනය වී ඇත්තේ එංගලන්තය පුරා පැතිර යමින් තිබෙන නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේදය දැයි අනාවරණය කරගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ කරන බව ද ඉන්දීය සෞඛ්‍ය අංශ පැහැදිලි කළේය.

නව වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් තමන් දැඩි විමසිල්ලෙන් පසුවන බවත්, එම නව ප්‍රභේදය මෙරටට පැමිණීම වැළැක්වීමට සියලු පියවර ගත් බවත් අප සෞඛ්‍ය අංශ ද අවධාරණය කර තිබේ. විදේශවලින් පැමිණෙන්නන් සඳහා සැකැසූ නිරෝධායන ක්‍රමවේදය ලිහිල් කිරීමට සූදානමින් සිටි නමුත්, මෙම නව ප්‍රභේදය සැලකිල්ලට ගනිමින් එය කිසිසේත් ලිහිල් නොකරන බව ද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වී තිබේ.

නව වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය වැසියන් තුළ බියක් හටගෙන තිබේ. ඒ, බ්‍රිතාන්‍ය රජය ඔවුන්ට ලබා දෙන ‘ෆයිසර්’ එන්නතට මෙම නව ප්‍රභේදය අඩපණ කරමින්, ආසාදනය වීම වැළැක්වීමට හැකිදැයි යන්න සම්බන්ධයෙනි. ‘ෆයිසර්’ සහ ‘බයෝඇන්ටෙක්’ සමාගමේ විද්‍යාඥයන් පවසා ඇත්තේ, නව ප්‍රභේදය ආසාදනය වැළැක්වීමට ‘ෆයිසර්’ එන්නත සමත් වේවි කියාය. යම් හෙයකින්, නව ප්‍රභේදයට එරෙහිව එන්නත සාර්ථක නොවන බව පෙන්නුම් කළොත්, නව ප්‍රභේදය අඩපණ කිරීමට විශේෂයෙන් සැකැසූ එන්නතක් ද තමන් නිපදවීම ආරම්භ කළ බව ෆයිසර් සහ බයෝඇන්ටෙක් සමාගම් එක්ව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක වැඩිදුරටත් සඳහන් වෙයි. 

‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ ප්‍රතිශක්තිකරණ එන්නත් ඇමෙරිකානුවන්ට ලබා දීම සිදුවන්නේ එරට ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය ගත් තීරණයකට අනුවය. ‘ෆයිසර්’ හෝ ‘මොඩර්නා’ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී නැත. හේතුව, මෙම එන්නත් නියමිත සායනික පර්යේෂණ සියයට සියයක් අවසන් නොකළ බැවිනි. කෙසේ නමුත් ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් ජනතාවට එන්නත් ලබා දෙන්නේ, කොරෝනා ආසාදතයන් සහ මරණ වැඩිවන බැවින්, හදිසි තත්ත්වයක් සේ සලකමිනි.

පසුගිය 21 වැනිදා, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ජෝ බයිඩන්ට සහ උප ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින කමලා හැරිස්ට එන්නත ලබා දීම සිදුවිය. 78 හැවිරිදි ජෝ බයිඩන්ට පමණක් නොව, ඔහුගේ බිරිඳ ජිල් බයිඩන්ට ද, 56 හැවිරිදි කමලා හැරිස්ට පමණක් නොව, ඇගේ සැමියා ඩග් එම්හොෆ්ට ද එන්නත ලබා දීම සිදුවිය. බයිඩන් එන්නත ලබා ගන්නා අයුරු ඇමෙරිකන් වැසියන්ට සජීවීව දැක ගැනීමට හැකිවිය.  බයිඩන්, ප්‍රසිද්ධියේ එන්නත ලබා ගත්තේ, එන්නත ලබා ගැනීමට බිය නොවන්නැයි ඇමෙරිකන් ජනතාවට සහතික වෙමිනි. ඊට හේතුව බොහෝ දෙනා එන්නත ලබා ගැනීමට මැලිකමක් දක්වන බව වාර්තා වේ. ඇමෙරිකාවේ කළු ජාතිකයන්ගෙන් තුනෙන් එකක පිරිසක් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද අසන්න ලැබේ.

‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වැළැක්වීමට සාර්ථක එන්නතක් නිපදවීමට ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම එක් කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයයි. ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ සාමාජික සාමාජිකාවන්ට සහ ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩල (පාර්ලිමේන්තු) නියෝජිතයන්ට ‘ෆයිසර්’ එන්නත ලබා දීම පසුගිය 18 වැනිදා සිදුවිය. එදා පළමුවෙන් එන්නත ලබා ගත්තේ වත්මන් උප ජනාධිපති 61 හැවිරිදි මයික් පෙන්ස්ය. උප ජනාධිපති පෙන්ස් එන්නත ලබා ගැනීම කළේ ද ප්‍රසිද්ධියේය. ඊට අමතරව, ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ නායක මිච් මැක්කොනෙල්, නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි ඇතුළු ඇමෙරිකන් රජයේ ඉහළ නිලධාරීහු රැසක් ද ‘ෆයිසර්’ එන්නත ලබා ගත්හ. පසුගිය 22 වැනිදා පළමුවෙන් ‘මොඩර්නා’ එන්නත ලබා ගත් අයකු වන්නේ ඇමෙරිකන් වසංගත රෝග පාලන විද්‍යායතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන වෛද්‍ය ඇන්තනි ෆවුචිය. වෛද්‍ය ෆවුචි එන්නත ලබා ගනිමින් ඇමෙරිකානුවන්ට සහතික වූයේ එන්නත ලබා ගැනීමට බියක් ඇති කරගත යුතු නැති බවය.

රොයිටර් ඇසුරිනි


RECOMMEND POSTS