මුහුදෙන් මතුවුණු අමුතු හැඩය
වසර 2,500 කට පෙර, ග්‍රීක විද්‍යාඥයකු මෙන්ම දාර්ශනිකයයකු ද වූ ප්ලේටෝ එක රැයින් මුහුදට බිලිවුණු නගරයක් ගැන සටහනක් තබා තිබේ. ‘ඇට්ලැන්ටිස්’ යනු මේ නගරයයි. ප්ලේටෝගේ සටහන් අනුව, භූමි කම්පා සහ ජල ගැලීම් හේතුවෙන් ‘ඇට්ලැන්ටිස්’ මුහුදේ සැඟවුණැයි ප්ලේටෝ පවසා ඇත.
ඒත් ඒ කොතැනදැයි හරිහැටි වාර්තාවක් හෝ සාක්ෂියක් හෝ මෙතෙක් සොයා ගැනීමට හැකිවී නැත. ‘ඇට්ලැන්ටිස්’ සැඟවුණු පුරවරය සොයා ගවේෂණ සිදුවෙයි. මුහුද විසින් ගිල ගනු ලැබූ ඇට්ලැන්ටිස් සැබෑවක් ද නැද්ද යන්න පිළිබඳව ද තර්ක පවතී. ‘ඇට්ලැන්ටිස්’ මෙන් මුහුද විසින් ගිල ගනු ලැබූ තවත් නගර ගැන පුරාවෘත්ත පවා ලොව නන්දෙසින් වාර්තා වී තිබේ.
ඒ, 2007 වසරේ, අගෝස්තු 1 වැනිදාය. බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ ටෝබී ඩ්‍රයිවර්, ගගන පර්යේෂකයෙකි. ගුවනේ සිට නිරීක්ෂණ කරමින්, රට පුරා ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි සොයා ඒවා ගැන සටහන් තැබීම ඩ්‍රයිවර්ට පැවැරී ඇති රාජකාරියයි.
බිම් මට්ටමේ සිට නිරීක්ෂණය කරනවාට වඩා ගුවනේ සිට නිරීක්ෂණය කරද්දී බොහෝ දේවල් සවිස්තරව දකින්න ලැබෙන බව මහාචාර්ය ඩ්‍රයිවර් කියයි. භූමියේ නිරීක්ෂණ කටයුතු සඳහා ඩ්‍රයිවර් සැහැල්ලු ගවන් යානයක් භාවිතා කරයි. එහි ඉඩකඩ ඇත්තේ ඔහුට සහ නියමුවාට පමණි.
එදා, එනම් 2007 අගෝස්තු 7 වැනිදා, මහාචාර්යවරයා ඔහුගේ නියමු සගයා ද සමඟ ගුවන් යානයෙන් අහසට නැගුණේ වේල්සයට අයත් කාඩිගන් වෙරළ තීරය සහ ඒ අවට නිරීක්ෂණ චාරිකාවක් අරඹමිනි. මහාචාර්යවරයා පහළ වෙරළ තීරය ඡායාරූපයට නගන්න විය. පැය කිහිපයකට පසු නිරීක්ෂණ කටයුතු අවසන් කර ආපසු හැරීමට මහාචාර්ය ඩ්‍රයිවර් තීරණය කළේය. ඒ සමඟ ඔහුට වෙරළේ සිට මුහුද දක්වා විහිදී තිබුණු අසාමාන්‍ය හැඩයකින් යුත් රේඛා දකින්න ලැබුණි.
ඉංග්‍රීසි හෝඩියේ ‘වී’ අකුරක හැඩය ගත් එම රේඛා මහාචාර්යවරයාගේ අවධානයට ලක් විය. ගුවනේ සිට බලද්දී ඒවා පැහැදිලිව පෙනෙන්න විය. මහාචාර්යවරයා මෙවැන්නක් මින් පෙර දැක තිබුණේ නැහැ. මෙවැන්නක් දකින්න බලාපොරොත්තු වූයේ ද නැත. කාඩිගන් වෙරළේ මෙම ස්ථානයේ මෙවැනි අමුතු හැඩයක් ඇතැයි ඔහු අසා තිබුණේ නැත.
ගුවනේ සිට ගත් ඡායාරූප මෙම අසාමාන්‍ය හැඩය හඳුනා ගැනීමේ පළමු පියවර විය. කළු පැහැයෙන් දිස්වුණු එම හැඩය කුමක්දැයි සොයා බැලීම කළ යුතු විය. ඒ සඳහා පහළ වෙරළට යා යුතු විය. මහාචාර්යවරයා ඊට පසු දින ගවේෂණයක් ඇරැඹීය.
ඔහු අසාමාන්‍ය හැඩය දකින්න ලැබෙන වෙරළට ගියේය. වෙරළේ ඔහුට දකින්න ලැබුණේ ගල් ගොඩැලි තැත් තැන්වල පිහිටා ඇති අයුරුය. අඩි දෙකක් තරම් උසැති මෙම ගොඩැගිලි මිනිසා විසින් නිර්මාණය කළ ගොඩනැගිල්ලක නටබුන් යැයි බැලූ බැල්මට පෙණුනි. පෙද පාසි සහ මුහුදු ශාඛවලින් ආවරණය වී තිබුණු ගල් කුට්ටි, යෝධ පවුරු දෙකක නටබුන් බව පැහැදිලි විය.
විවිධාකාරයේ ප්‍රමාණයෙන් යුත් ගල් යොදා ගනිමින් නිර්මාණය කර තිබුණු එම පවුර මුහුදේ සිට වෙරළ දක්වා වැටී තිබුණි. එය නිර්මාණය කළේ කවුරුද? හේතුව කුමක්ද? යන්න ප්‍රශ්නාර්ථයක් විය.
‘වී’ අකුරේ හැඩය ගත් මෙම පවුර ඉදිරකර තිබෙන්න ඇත්තේ පා පන්දු ක්‍රීඩාංගන තුනකට වඩා විශාල භූමියකය. මෙවැනි මහා පරිමාණයේ ඉදිකිරීමක් සඳහා දැනුම, අමුද්‍රව්‍ය සහ පහසුකම් තිබෙන්න ඇත්තේ කාටදැයි යන්න ගැන මහාචාර්යවරයා කල්පනා කළේය. ඔහු මේ පළාතේ අතීත විස්තර අධ්‍යනය කරන්න විය. අතීතයේ මෙම පළාතේ වාසය කළ ජනයා ගැන ඇත්තේ ලිඛිත විස්තර ස්වල්පයකි. කෙසේ නමුත් පුරාණ වැසියන් ගැන ජන කතා, මිථ්‍යා කතා සහ පුරාවෘත්ත බොහොමයකි.
‘ඇට්ලැන්ටිස්’ නගරය මෙන්, මුහුද විසින් ගිලගත් පුරාණ රාජධානියක් ගැන ද එක් පුරාවෘත්තයක් ඇත. එසේ නම් මහාචාර්ය ඩ්‍රයිවර් විසින් සොයා ගනු ලැබුවේ එම නගරයේ නටබුන් විය හැකිද? එසේ වුවහොත් එම රාජධානිය සහ ඒ සම්බන්ධ සියලු පුරාවෘත්ත සැබෑවක් වනු ඇත. මුහුදේ ගිලී සැඟවුණු එම රාජධානිය හැඳින්වෙන්නේ ‘ලෝව්ලන්ඞ් හන්ඞ්රඞ්’ ලෙසිනි. පුරාවෘත්ත අනුව ‘ලෝව්ලන්ඞ් හන්ඞ්රඞ්’ යන නමින් හැඳින්වෙන්නේ වේල්සයේ, වෙරළ තීරයට ඔබ්බෙන් සාගර පතුළේ ඉදි කෙරුණු රාජධානියකි.
වේල්සයේ ‘සෙන්ටර් ග්වෙලොඞ්’ යනුවෙන් හැඳින්වෙන්නේ ද මෙම ලෝ ලෑන්ඞ් හයිලන්ඞ් රාජධානියයි. පුරාවෘත්ත අනුව මෙම රාජධානිය පිහිටා තිබුණැයි පැවැසෙන්නේ, වේල්සයේ රැම්සි දූපත සහ බාර්ඞ්සේ දූපත අතර කාඩිගන් බොක්කේය. මෙම කාඩියන් බොක්ක පිහිටා ඇත්තේ බටහිර වේල්සයේය. 16 වැනි සියවසේදී, ලෝ ලෑන්ඞ් හයිලන්ඞ් පුරය පාලනය කරනු ලැබුවේ යැයි පැවැසෙන්නේ ග්වයිඞ්නෝ ගරහීර් විසිනි.
16 වැනි ශතවර්ෂයේ සිට 17 වැනි ශතවර්ෂය දක්වා මෙම පුරය ‘ග්වයිඞ්නෝගේ රාජධානිය’ යනුවෙන් ද හැඳින්විය. පුරාවෘත්ත අනුව ‘ලෝව්ලන්ඞ් හන්ඞ්රඞ්’ යනු මුහුද අද්දර පිහිටි අති දැවැන්ත රාජධානියකි. අවට භූමිය සාරවත්ය. රාජධානිය පාලනය කළේ ‘විත්නෝ’ නමැති රජුය.
මුහුද අද්දර ඉදි කෙරුණු මෙම රාජධානිය නිරන්තරයෙන් උදම් රළවලින් බැට කන්න විය. රාජධානියේ ප්‍රධාන සතුරා වූයේ උදම් රළය. මුහුදු රළවලින් බේරීමට රජුගේ අනින් මුහුද තෙක් දිවෙන මහා පවුරක් නගරය වටා නිර්මාණය කර තිබුණි. පවුරට ශක්තිමත් ගේට්ටුවක් විය. උදම් රළ අනුව, මෙම ගේට්ටුව වසා තැබීම සහ විවර කිරීම සිදුවෙයි.
රාත්‍රී කාලයට නිසැකවම මෙම ගේට්ටුව වසා දැමෙයි. ගේට්ටුව ඇරීම සහ වැසීම සිදු කිරීම සහ පවුරේ ආරක්ෂාව ගැන බැලීම ‘සෙත්’ නමැති තරුණ හාදයකුට පැවැරී තිබුණු බව එක් පුරාවෘතයක සඳහන් වෙයි. එක් දිනක් මේ හාදයා මත්පැන් බී පදම් වී නින්දට වැටී තිබේ. එදා රෑ ඔහුට ගේට්ටුව වසා දැමීමට අමතක විය. සුනාමියක් සේ දැවැන්ත උදම් රළ රාජධානියට කඩා වැදී එය මුළුමනින්ම විනාශ කළේ ඒ නිසාය. ‘ලෝව්ලන්ඞ් හන්ඞ්රඞ්’ පුරාවෘත්තය එයයි.
මහාචාර්ය ඩ්‍රයිවර්ට දකින්න ලැබුණු නටබුන් ‘ලෝව්ලන්ඞ් හන්ඞ්රඞ්’ රාජධානියේද යන ප්‍රශ්නයට විසඳුම් සෙවීම ඇරැඹිණි. වැඩිදුර අධ්‍යනය කරද්දී, අවුරුදු 1,000 ක් පැරැණි පොසිලකරණයට ලක් වුණු පා සලකුණු සොයා ගැනීමට මහාචාර්ය ඩ්‍රයිවර් සමත් විය. අතීතයේ මේ පළාතේ ජනාවාස පිහිටා තිබුණු බව එයින් පැහැදිලි විය.
එපමණක් නොව, ඒ අනුව මෙය ‘ලෝව්ලන්ඞ් හන්ඞ්රඞ්’ රාජධානියේ නටබුන් විය නොහැකි බව ද සනාථ විය. අබිරහස තවමත් විසඳී නැත. වී හැඩය ගත් මේ ඉදිකිරීම කුමක්ද යන්න ප්‍රශ්නාර්ථයකි. නටබුන් හමුවූ තැනට නුදුරින් ඇත්තේ මධ්‍යතන යුගයේ දෙව්මැදුරක නටබුන්ය. එසේ නම් වසර දහසකට කලින්, මෙය දෙව්මැදුරේ පූජකවරුන් විසින් ඉදි කළ නිර්මාණයක් විය හැකිය.
සෙවූ ප්‍රශ්නයට පිළිතුර සොයා ගැනීම සිදුවූයේ චන්ද්‍රිකා ඡායාරූපවල උදවුවෙනි. මෙවැනි ‘වී’ අකුරේ හැඩය ගත් මුහුදේ කළ ඉදි කිරීම් පිළිබඳ පර්සියානු ගල්ෆ් කලාපීය මුහුදෙන් සොයා ගැනීමට හැකි විය. ඒවා හැඳින්වෙන්නේ ‘මාළු උගුල්’ කියාය. ‘මාළු උගුල්’ වෙරළට සමීපව මුහුදේ ඉදි කෙරෙන්නේ, මාළු අල්ලා ගැනීම සඳහාය.
ඉදි කිරීම යෝධ පවුරක් හා සමාන වෙයි. වඩදිය බාදිය සමඟ මාළු මේවායේ කොටු වෙයි. ඉන්පසු උන් අල්ලා ගැනීම පහසුවෙන් කළ හැකි වෙයි. එසේ නම් තමන්ට හමුණු ‘වී’ අකුරේ හැඩය ගත් මෙම ඉදි කිරීම ද ‘මාළු උගුලක්’ විය හැකි බව මහාචාර්ය ඩ්‍රයිවර් අනුමාන කරයි. ‘ලෝව්ලන්ඞ් හන්ඞ්රඞ්’ රාජධානියේ ඇත්ත නැත්ත සඳහටම අබිරහසක් වී පවතීවි යැයි ඩ්‍රයිවර් කියා සිටී.
වොට් ඔන් අර්ත් ඇසුරිනි