බ්‍රිතාන්‍ය නව අගමැති රිෂී සුනාක්



බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ඩවුනින් වීදියේ අංක 10 ලිපියනට නව පදිංචිකරුවෙක් පැමිණ සිටී. ඩවුනින් වීදියේ අංක 10 යනු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසය. පාලක ‘කොන්සවර්ටිව්’ පක්ෂයේ නායකත්වයට පත් වෙමින්, බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එම ධුරය බාර ගත්තේ රිෂී සුනාක්ය. සුනාක්, ඉන්දීය සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.

‘හිරු නොබසින අධිරාජ්‍යය’ ලෙස හැඳින්වූයේ මහා බ්‍රිතාන්‍යයයි. ඒ, අතීතයේ, රටවල් රැසක් (අප ද ඇතුළුව) බ්‍රිතාන්‍යයේ යටත් විජිත වූ බැවින් සහ එකම පාලකයකු යටතේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුළ කුමන හෝ රටකට සැමවිටම ඉර පායා තිබුණු බැවිනි. ඉන්දියාව, 1857 සිට 1947 දක්වා, එනම් වසර 90 ක් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ලෙස පැවැතිණි. දෛවයේ සරදමකට මෙන්, අද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හිමිවී ඇත්තේ ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයකුටය.

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. 2024 වනතුරු බලයේ සිටීමට ‘කොන්සවර්ටිව්’ පක්ෂයට අවස්ථාව උදා වී ඇත. 42 හැවිරිදි රිෂී සුනාක් අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ මහ ජන ඡන්දයෙන් නොව, ‘කොන්සවර්ටිව්’ පක්ෂ සාමාජිකයන් බහුතරයකගේ සහාය ඔහුට හිමිවුණු බැවිනි. වසර 6 ක් තුළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු හය වැනියා සුනාක්ය. මාස දෙකක් ඇතුළත බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් තෙවැනියා සුනාක් ය. ශතවර්ෂ දෙකකට පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් ළාබාලතම තැනැත්තා සුනාක් ය. එපමණක් නොව, ඩවුනින් වීදියේ අංක 10 ලිපිනයේ පදිංචියට ආ ධනවත්ව අග්‍රාමාත්‍යවරයා සුනාක්ය.

බ්‍රිතාන්‍යය ආර්ථිකමය වශයෙන් අර්බුද රැසකට මුහුණ දෙයි. උද්දමනය ඉහළ ගොසිනි. ජනතාව පීඩාවට පත් කරමින් අර්බුද නිර්මාණය කිරීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ රට මුහුණ දුන් ‘කොවිඩ් 19’ වසංගතයයි. රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය ද රටේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල සහ ඉන්ධන මිල ඉහළ දැමීමට හේතු විය. ජනතාව පීඩාවට පත් නොකර, රට ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමටත්, ‘කොන්සවර්ටිව්’ පක්ෂය තුළ පවතින බෙදීම් අවසන් කිරීමටත් තමන් සූදානම් බව සුනාක් ප්‍රතිඥා දුන්නේ පසුගිය 25 වැනිදා අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ අරඹමිනි. සුනාක් අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ ඇරැඹුවේ තෙවැනි චාල්ස් රජු හමුවී අනුමැතිය ලබා ගැනීමෙන් පසු. බ්‍රිතාන්‍ය කිරුළ හිමිවීමෙන් පසු චාල්ස් රජුගේ අනුමැතිය හිමිවුණු පළමු අග්‍රාමාත්‍යවරයා සුනාක් වීම ද විශේෂත්වයකි.

රිෂී සුනාක්, අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ රජයේ මුදල් ඇමැති (චාන්සලර්) වරයා විය. බොරිස් ජොන්සන් පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා දැමීම සිදුවූයේ ජූලි මාසයේය. ඒ, ජොන්සන්, ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අංශ පනවා තිබූ තහංචි උල්ලංඝනය කර, රහසේ මධුවිත සාද පැවැත් වූ නිසාය. ජොන්සන්ගේ ක්‍රියාකලාපය ‘කොන්සවර්ටිව්’ පක්ෂ සාමාජිකයන්ගේ දැඩි අප්‍රසාදයට හේතු විය. එය අවසන් වූයේ පක්ෂය අභ්‍යන්තරයෙන් කැරැල්ලකින් නිර්මාණය වී ජොන්සන් ධුරයෙන් නෙරපීමය. ජොන්සන් නෙරපීමට කැරැලි ගැසූ ප්‍රධාන චරිතයක් වන්නේ රිෂී සුනාක් ය.

ඉන්පසු පක්ෂ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් සටන පැවැතියේ රිෂී සුනාක් සහ ලිස් ට්‍රස් අතරේය. එය ජය ගනිමින් ලිස් ට්‍රස් පක්ෂ නායකත්වයට සහ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූවාය. එම අවස්ථාවේදී රිෂී සුනාක් ට පක්ෂ නායකත්වය හෝ අග්‍රාමාත්‍ය ධුරය හෝ හිමි නොවුණේ ඔහුගේ ඉන්දීය සම්භවය නිසා බව අමුතුවෙන් කිවයුතු නැත. ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්ව මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයන් සියලු දෙනා සුදු ජාතියන්ය. සුද්දන්ය. සුද්දකු නොවන තැනැත්තකු පක්ෂ නායකත්වයට පත් වීම සහ රටේ අග්‍රාමාත්‍ය වී තමන් පාලනය කිරීම ‘සුද්දන්ට’ රුස්සන්නේ නැත. ඒ අනුව, ඔවුන්ගේ මනාපය හිමි වූයේ ලිස් ට්‍රස්ටය.

අග්‍රාමාත්‍යවරිය ලෙස ලිස් ට්‍රස් ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති, රට ආර්ථික අර්බුදයකට ගෙන යෑමට මඟ පෑදුවේය. ‘කොන්සවර්ටිව්’ පක්ෂය අභ්‍යන්තරයේ බෙදීමක් නිර්මාණය වූයේ මෙම අවස්ථාවේදීය. තමන්ට තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට, පක්ෂ සාමාජිකයන්ගෙන් නිසි සහායක් නොලැබෙන බව පෙන්වා දෙමින්, ලිස් ට්‍රස් පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූවාය. ලිස් ට්‍රස් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළේ සති 6 ක් පමණි. ඒ අනුව, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයේ අඩුම කාලයක් කටයුතු කළ තැනැත්තා ලෙස ලිස් ට්‍රස් ද වාර්තාවක් පිහිටුවූවාය.

යළිත් පක්ෂ නායකත්වය වෙනුවෙන් තරගයක් පැවැත්වුණු අතර රිෂී සුනාක්, හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මෙන්ම නියොජිත මන්ත්‍රී මණ්ඩල නායිකා පෙනී මෝර්ඩන් ඊට ඉදිරිපත් වූහ. අවසන් මොහොතේ ජොන්සන් තරගෙයන් ඉවත් වූ බැවින් සහ පෙනී මෝර්ඩන් ට පක්ෂ සාමාජිකයන්ගෙන් ප්‍රමාණවත් සහායක් නොලැබුණු බැවින්, රිෂී සුනාක්ට පක්ෂ නායකත්වයට පත් වුණු අතර, ඔහුට අග්‍රාමාත්‍ය ධුරය ද හිමිවිය.

රිෂී සුනාක්ගේ සීයා සහ ආච්චි ඉන්දියාවේ පන්ජාබයේ සිට අප්‍රිකාවට සංක්‍රමණය වූවෝ වෙති. සුනාක්ගේ මව සහ පියා 1960 දී නැගෙනහිර අප්‍රිකාවේ සිට එක්සත් රාජධානියට සංක්‍රමණය වූහ. සුනාක්ගේ පියා යෂ්වීර් සුනාක් වෛද්‍යවරයෙකි. මව ඌෂා ඖෂධවේදිනියකි. සුනාක් උපන්නේ 1980 මැයි 12 වැනිදා සදර්ම්ටන්වලදීය. විදෙස්ගත වන ඕනෑම ඉන්දීය පවුලක් සාමාන්‍යයෙන් කරන අයුරින්, සුනාක්ගේ මාපියෝ ඔහුගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප වූහ. සුනාක්, වින්චෙස්ටර් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ අතර, ඔහුට ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඔහුට ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ද හිමි විය. සුනාක්ට, සිය බිරිඳ අක්ෂාතා මූර්ති හමුවූයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරද්දීය. අක්ෂාතා මූර්ති යනු බ්‍රිතාන්‍යයේ ‘ඉන්ෆෝසිස්’ තොරතුරු කාක්ෂණ සමාගමේ හිමිකරු බ්‍රිතාන්‍ය ඉන්දිය ජාතික නාරායන මූර්තිගේ දියණියයි. සුනාක් සහ අක්ෂාටා ට දියණියෝ දෙදෙනක් සිටිති. සුනාක්ගේ බිරිඳගේ පමණක් වත්කම පවුම් මිලියන 479 කි. ඒ අනුව, ඇය තෙවැනි චාල්ස් රජුටත් වඩා ධනවත්ය.

බ්‍රිතාන්‍යයේ සුදු ජාතික වැසියකු මෙන් ඉංග්‍රීසි උච්චාරණය කරන සුනාක්ගේ මුහුණ, සමේ වර්ණය සහ සංස්කෘතිය ඉන්දියානුය. භගවත් ගීතාවට අනුව ජීවිතය ගත කරන සුනාක්, ගව මස් අනුභව නොකරයි. එසේ වුවත් බේකන් (උරු මස්) අනුභව කිරීමට ප්‍රිය කරන බව කියයි. ‘මා හින්දු භක්තිකයෙක්. සති අන්තයේ මා කෝවිලට යනවා. ඒ වගේ ම පාපන්දු තරඟ නරඹනවා. ක්‍රිකට්වලට මං ආසයි’ යැයි සුනාක් පවසා ඇත්තේ මහත් ආඩම්බරයෙනි.

බ්‍රිතාන්‍යයට පමණක් නොව, ලෝකයට අගමැතිවරුන් බිහි කිරීමෙහිලා නමක් දිනූ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරද්දී, ඔහුගේ මිතුරන් එදා නිතරම සුනාක් ට විහිළු කළේ අනාගතයේ කොන්සවර්ටිව් පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය අගමැති ධුරයට පත් විය හැකියි කියාය. ඒත් සුනාක්ට එය විහිළුවක් නොවිණි. ඒ ගැන ඔහු ගැඹුරින් සිතන්න විය. ඔහු ආයෝජන බැංකුකරුවකු ලෙස රැකියාවට ගියේය. ඉතා ඉක්මනින් ධනවතකු වූ ඔහු තරුණ කාලයේ සිට ම බැඳී සිටි කොන්සවර්ටිව් පක්ෂයෙන් දේශපාලනයට එන්නට තීරණය කළ අතර, 2015 වසරේ දී මැතිසබයට තරග කළේය. කොන්සවර්ටිව් පක්ෂ බළකොටුවක් ලෙස සැලෙකන උතුරු යෝක්ෂයර් ප්‍රාන්තයේ රිච්මන්ඩ් අසුන දිනා ගනිමින් සුනාක් පාර්ලිමේන්තුවට තේරී පත්විය. ඔහු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන්නේ භගවත් ගීතාවට අත තබමිනි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු රිෂී සුනාක්ට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම් ගලා එන්න විය. රනිල් වික්‍රමසිංහ ජනපතිතුමන් ද සුනාක්ට සුබ පැතීමට අමතක නොකළේය. ඊට අමතරව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සුනාක් ට සුබ පැතූහ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, නව අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ට සුබ පතමින් පැවැසුවේ, ගෝලීය කටයුතු සම්බන්ධයෙන් සුනාක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවය. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, රිෂී සුනාක්ට සුබ පතමින්, ධවල මන්දිරයේ හමුවක් සඳහා පැමිණෙන්නැයි ද ඇරැයුම් කළේය. ඉන්දිය සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය වැසියකු එරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම, එරට දේශපාලනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බව ද බයිඩන් පැවැසුවේය. එය හරියට, ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා ලෙස බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වීම හා සමාන යැයි ද බයිඩන් පෙන්වා දුන්නේය.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS