බංග්ලාදේශ අගමැතිනිය පැන්නූ අරගලය



විරෝධතා උත්සන්න වී, ලක්ෂ ගණනක් විරෝධතාකරුවන්, අග්‍රාමාත්‍ය නිල නිවස වටලා ඊට කඩා වදිද්දී, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී, රටින් ද පලා ගියාය. අග්‍රාමාත්‍යවරිය සහ ඇයගේ නැගණිය වන ෂෙයික් රෙහානා අද (5) පස්වරු 2.30 ට පමණ හමුදා හෙලිකොප්ටර් යානයකින් නිල නිවසින් පිටවී ගිය බව නිවේදනය කළේ බංග්ලාදේශ හමුදාවය. විදෙස් මාධ්‍ය පසුව පැවැසුවේ, ෂෙයික් හසීනා පළමුවෙන් ඉන්දියාවටත්, ඉන්පසු එංගලන්තයටත් ගිය බවය.

අග්‍රාමාත්‍ය ධුරය අත්හැර පිටත්වීමට ප්‍රථම ජාතිය අමතමින් කතාවක් පටිගත කර තබා යෑමට අග්‍රාමාත්‍යවරියට අවශ්‍ය වී තිබුණත් ඇඳිරි නීතිය නොතකමින් අග්‍රාමාත්‍ය නිල නිවස වටකළ විරෝධතාකරුවන් නිල නිවසට කඩා වැදීමට සූදානම් වීම හේතුවෙන් ඒ සඳහා හසීනාට අවස්ථාවක් නොලැබුණු බව පැවැසෙයි.

පොලිසිය සහ හමුදාව අග්‍රාමාත්‍ය නිල නිවසට පිවිසිය හැකි මාර්ග කම්බි වැටවල් යොදා අවහිර කිරීමට කටයුතු කළත් එම මාර්ග බාධක බිඳ දමමින් විරෝධතාකරුවන් අග්‍රාමත්‍ය කාර්යාලය වටලා ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය. ලක්ෂ 4 ක පමණ විරෝධතාකරුවන් පිරිසක් ඇඳිරි නීතිය නොතකමින් ඩකා අගනුවරට රැස්වී ඇති බවත් පස්වරු 3 පමණ විට අග්‍රාමාත්‍ය නිල නිවසේ ගේට්ටු විවර කර ගනිමින් අග්‍රාමාත්‍ය කාර්යාලයට කඩා වැදී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

වත්මන් තත්වය හමුවේ බංගලාදේශ හමුදාවේ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් වකර් උස් සමාන් ජාතිය ඇමතූ අතර ඔහු ප්‍රකාශ කර සිටියේ වත්මන් දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා අන්තර්වාර රජයක් පිහිටුවීමට කටයුතු කරන බවයි. විරෝධතාවලදී මියගිය 300 කට වැඩි පිරිසකට යුක්තිය ඉටුකිරීමට කටයුතු කරන බවත් හමුදාව කෙරෙහි විශ්වාසය තබන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය. ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ගොඩනැගූ රට විනාශ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බවත් ජෙනරාල් සමාන් පැවැසීය.

බංග්ලාදේශය බිහිවූයේ 1971 වසරේදී ඉන්දු පාකිස්තාන යුද්ධයෙන් පසුවය. බංග්ලාදේශය යන නමින් බිහිවුණු නව රාජ්‍යයේ, ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූයේ ෂෙයික් මුජිබර් රහමාන් ය. ෂෙයික් හසීනා යනු ෂෙයික් මුජිබර් රහමාන්ගේ දියණියකි. බංග්ලාදේශ් නිදහස් සටනේ පුරෝගාමියකු වූ ශෙයික් මුජිබර් රහමාන් ට ආඥාදායක පාලකයකු වීමට ගත වූයේ වසර තුනක් වැනි කෙටි කාලයකි. විපක්ෂ ක්‍රියාකාරීන් මෙන්ම ප්‍රතිවිරුද්ධ මතධාරීන් නිර්දය ලෙස නිහඬ කළේය. ශෙයික් මුජිබර් රහමාන් නායකත්වය දුන්නේ අවාමි ලීගය දේශපාලන පක්ෂයටය. 1975 වසරේ ජනවාරියේ අවාමි ලීගය හැර සෙසු පක්ෂ තහනම් කිරීමට ද ෂෙයික් මුජිබර් රහමාන් කටයුතු කළේය. 1975 වසරේ අගෝස්තු 15 වැනිදා සියල්ල වෙනස් විය. හමුදා කුමන්ත්‍රණයක් සිදුවුණු අතර ෂෙයික් මුජිබර් රහමාන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් බොහෝ දෙනකු ඝාතනය කෙරුණි. ෂෙයික් හසීනා සහ ඇගේ සොහොයුරිය ෂෙයික් රෙහානා දිවි ගලවා ගැනීමට සමත් වූහ. ඒ, ඔවුන් එම අවස්ථාවේ, විදේශගතව සිටි බැවිනි.

ෂෙයික් හසීනා දේශපාලනයට පිවිසියේ, 1980 දශකයේදීය​. ඒ, අවාමි ලීග් පක්ෂයේ නායිකාව ලෙසය. ඉන්පසුව ඇය 1996 සිට 2001 දක්වාත් නැවතත් 2009 සිට 2024.08.05 දක්වාත් බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළාය. 2009 වසරේ බලයට පත්වීමෙන් පසු මේ දක්වා ඇය අතිශය ඒකාධිපතිවාදී සහ සහචරවාදී පාලනයක් ගෙන ගිය බවට චෝදනා එල්ල වී තිබේ. හසීනාගේ පාලන සමයේ, බංග්ලාදේශයේ ආර්ථිකය දියුණුවක් සිදුවුවත්, එ්වා භූක්ති වින්දේ සහ එම ආර්ථික වාසි බෙදී ගියේ හසීනාගේ සහචරයන්, හිතවතුන් සහ පවුලේ සාමාජිකයන් බවටත් චෝදනා එල්ල වී තිබේ. හසීනාගේ පවුලේ සාමාජිකයන්, පක්ෂ සාමාජිකයන් සහ හිතවතුන් මහා පරිමානයේ දූෂණ වංචා සඳහා දායක වූ බවටත් චෝදනා එල්ල වී තිබේ.

ෂෙයික් හසීනාට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූයේ ශිෂ්‍ය විරෝධතාවකිනි. බංග්ලාදේශ නිදහස් සටනේ පුරෝගාමීන්ගේ පවුල්වලට රජයේ රැකියා අවස්ථාවන් වලින් සියයට 30 ක් ලබාදීමට එරෙහිව ආරම්භ වුණු එම ශිෂ්‍ය විරෝධතා දිනේන දින ඔඩුදුවද්දී, අග්‍රාමාත්‍යවරිය නිර්දය ලෙස ඒවා මර්දනය කිරීමට උත්සාහ ගත්තාය. ඇඳිරි නීතිය පනවමින්, විරෝධතාකරුවන්ට වෙඩි තබන්නැයි පොලිසියට සහ හමුදාවට අණ කළාය. කෙසේ නමුත්, ඒ තරුණ අරගලය, තරුණ විරෝධය මර්දනය කිරීමට ඇය අසමත් වූවාය. ඒ අනුව ඇය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් ද පලා ගියාය. සිය පියාට මීට 49 වසරකට පෙර සිදු වූවාක් මෙන්ම ආගෝස්තු මාසයකදීම, 76 හැවිරිදි ෂෙයික් හසීනාට ද බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය අහිමි වීම දෛවෝපගත සිදුවීමකි.

අග්‍රාමාත්‍ය නිල නිවසට කඩා වැදුණු විරෝධතාකරුවන් එහි තිබූ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ සාරි, ගමන් මලු, චිත්‍ර ආදිය සොරාගෙන ඇති බවත් හසීනාගේ දේශපාලන කාර්යාලය සම්පූර්ණයෙන් විනාශ කර දමා ඇති බව ද බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය.

එසේම අග්‍රාමාත්‍ය නිල නිවසේ සිට සෙල්ෆි ඡායාරූප ගසා ඇති බවත් තරුණයන් තිදෙනකු ෂෙයික් හසීනා නිදාගත් ඇඳේ සිට ගෙන ඇති ඡායාරූප සමාජ මාධ්‍යයේ විශාල ලෙස සංසරණය වන බවත් එරට මාධ්‍ය සඳහන් කළේය. එසේම විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය නිල නිවසේ භාණ්ඩ සොරාගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව බංග්ලාදේශ මාධ්‍ය පෙන්වා දෙයි.

අවාමි ලීගයේ ප්‍රධාන පක්ෂ මුලස්ථානයට විරෝධතාකරුවන් ගිනිතබා ඇති බවත් අවාමි ලීගයේ මහලේකම්වරයකුට අයත් හෝටලයක් ගිනි තැබීමට යාමේදී 8 දෙනකු පිළිස්සී මියගොස් තවත් 84 දෙනකු තුවාල ලබා ඇති බවත් බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය.

එසේම අවාමි ලීගයේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට ගිනි තබමින් විරෝධතාකරුවන් විශාල හානියක් කර ඇති බවද එරට මාධ්‍ය සඳහන් කළේය. එසේම අගවිනිසුරුගේ නිවසට විරෝධතාකරුවන් හානි කර ඇති බවත් නැවත දැනුම් තුරු බංග්ලාදේශයේ අධිකරණ සියල්ල වසා දමා ඇති බවත් එරට මාධ්‍ය ප්‍රකාශ කළේය. නමුත් අත්‍යාවශ්‍යම නඩු ඇසීම විභාගයට ගනු ඇති බවද එරට මාධ්‍ය පැවැසුවේය.

විරෝධතාකරුවන් ඉන් නොනැවතී බංග්ලාදේශ පාර්ලිමේන්තුවද අත්පත් කරගෙන ඇති බවත් ඔවුන් එහි දේපළ වලටද විශාල හානියක් කර ඇති බවත් බංග්ලාදේශ මාධ්‍ය පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තුවට අත්පත් කරගත් විරෝධතාකරුවන් මන්ත්‍රීවරුන්ගේ ආසනවල ඉඳගනිමින් සෙල්ෆි ගසා ඇති බවත් එරට මාධ්‍ය ප්‍රකාශ කළේය.


RECOMMEND POSTS