නාසා ඉන්සයිට් අඟහරු මතට



මීට මාස 6 කට පෙර, එනම් 2018 මැයි 5 වැනිදා, පෘථිවියෙන් පිටත්ව ගිය ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත් ‘ඉන්සයිට්’ නමැති රොබෝ ගවේෂණ යානය ඊයේ (26) ඉතා සාර්ථකව අඟහරු මතට පතිත කිරීමට විද්‍යාඥයෝ කටයුතු කළහ.

යානය පැයට සැතපුම් 12,300 ක වේගයකින් (වෙඩි උණ්ඩයකටත් වඩා වේගයකින්) අඟහරු මත ගොඩබෑම සිදුවන්නේ සියුම් ගණනය කිරීම් අනුවය. ඒ සඳහා විශේෂ පැරැෂූට් කට්ටල යොදා ගැනීම සිදුවිය. යානය පතිත කිරීම සිදුවන්නේ නාසා විද්‍යාඥයන් විසින් කලින් තෝරා ගනු ලැබූ ස්ථානයටය. ‘ඉන්සයිට්’ යානය මෙසේ අඟහරු බලා යෑම පමණක් නොව අඟහරු මතුපිටට ගොඩබැසීම අභ්‍යවකාශ ගවේෂණයේ තවත් එක් වැදගත් සංධිස්ථාකයක් ලෙස සැලකෙයි. 

‘ඉන්සයිට්’ රොබෝ යානයේ මූලික අරමුණ අඟහරු පෘෂ්ඨය සිදුරු කර, පාෂණ ස්ථර ගවේෂණය සහ අඟහරු මතුපිට හටගන්නා භූ කම්පන ගැන අධ්‍යයනය කිරීමය. ලබා ගන්නා දත්ත රේඩියෝ සංඥා ලෙස පෘථිවි විද්‍යාඥයන් වෙත ලැබෙන්න සලස්වයි. ඉන්සයිට් යානය පෘථිවියෙන් පිටත්ව අඟහරු බලා ගියේ පසුගිය මැයි මාසයේදීය. ඉන්සයිට් රැගත් ඇට්ලස් රොකට්ටුව ගුවන්ගත කිරීම සිදුවූයේ කැලිෆෝනියාවේ ගගන කඳවුරෙනි. අඟහරු මතුපිට කැණීම් සිදු කරන ඉන්සයිට් යානයේ බර කිලෝ ග්‍රෑම් 360කි. එහි දිග මීටර් 6 ක් වන අතර පළල මීටර් 1.5ක් යැයි නාසා ආයතනය කියයි. ඉන්සයිට් යානය අඟහරු වෙත යැවීම සහ එහි සියලු කටයුතු පරිපාලනය සිදු කෙරනු ලබන්නේ ‘නාසා ජෙට් ප්‍රචාලන ආයතනය’ විසිනි. 

‘ඉන්සයිට් ගවේෂණ යානයේ ප්‍රධාන අරමුණ තමයි, අඟහරු ග්‍රහලෝකයේ භූගෝලීය විෂමතා හඳුනා ගැනීම.’ යැයි ගවේෂණ මෙහෙයුම මෙහෙයවීම සිදු කරන විද්‍යාඥ බෲස් බෙන්ඩර්ට් පැහැදිලි කරයි. ‘අප අඟහරුගේ මතුපිට ගැන දන්නවා. වායු ගෝලය සහ කක්ෂ ගැන දන්නවා. අඟහරුගේ අයන ගෝලය ගැන දන්නවා. ඒත් අඟහරුගේ අභ්‍යන්තරයේ ස්වරූපය ගැන අප නිවැරදිව දන්නේ නැහැ. ඉන්සයිට් ගවේෂණ යානය සැතපුමක් පමණ පහළට අඟහරුගේ පාෂාණ තට්ටුවල සිදුවන්නේ කුමක්දැයි සොයා දැන ගැනීම සිදු කිරීමට නියමිතයි. අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තරය ගවේෂණයට සිදු කරන පළමු ගවේෂණ මෙහෙයුම මෙයයි.’ යැයි විද්‍යාඥ බෲස් බෙන්ඩර්ට් වැඩිදුරටත් කියා සිටී.

‘ඉන්සයිට්’ ගවේෂණ යානය සමඟ තවත් කුඩා යානා දෙකක් අඟහරු වෙත යැවීම සිදු කළේය. මේ යානා නාසා ඉන්ජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ඒවාය. මේවා නම් කර ඇත්තේ මාර්ස් කියුබ් 1 සහ 2 යනුවෙනි. මේවා ප්‍රමාණයෙන් බී්‍රෆ්කේසයක් තරම් යැයි පැවැසෙයි. ඉන්සයිට් පසුපසින් අඟහරු වෙත යන මෙම යානා අඟහරුගේ කක්ෂයේ ඔවුන්ට නියමිත ස්ථානවල රැඳෙනු ඇත. ඉදිරියේ දී සන්නිවේදන කටයුතු සඳහා මෙම යානා දෙක යොදා ගැනීමට නාසා විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.

ගවේෂණ යානය ‘ඉන්සයිට්’ ලෙස මෙම යානය නම් කර ඇත්තේ, අඟහරුගේ පාෂණ ස්ථර පිළිබඳව සහ භූ කම්පන පිළිබඳව සොයා බැලීමට යානය යැවෙන නිසාය. යානය නිර්මාණය කර ඇත්තේ ඇමෙරිකාවේ ලොකීඞ්මාටින් තාක්ෂණ සමාගම විසිනි. මොවුන් ගුවන් යානා සහ ගගන යානා නිර්මාණකරණයේ ඉදිරියෙන් සිටින සමාගමකි. අඟහරු මතුපිට භූමි කම්පා සෙවීමට සහ අඟහරු මතුපිට භූමියේ සිදුවුණු භූ විද්‍යාත්මක වෙනස්වීම් සහ භූ විද්‍යාත්මකව සිදුවුණු පරිණාමය සොයා බැලීමට ද විශේෂ උපාංග දෙකක් සවි කර ඇත. අප සෞරග්‍රහ මණ්ඩලයේ බුද, සිකුරු, පෘථිවිය සහ අඟහරු සැලකෙන්නේ පාෂාණමය ග්‍රහයන් ලෙසිනි. අඟහරු මතුපිට ගවේෂණය ‘ඉන්සයිට්’ යානය විසින් සිදු කරනු ලබන අතර, අඟහරු මතුපිට භූ විද්‍යාත්මක පරිණාමය සිදුවුණු ආකාරය අනුව, බුද, සිකුරු සහ අප පෘථිවියේ පමණක් නොව, අප සඳේ ද අතීත සැඟවුණු රහස් මතුකර ගැනීම විද්‍යාඥයන්ගේ අරමුණ වී ඇත. ‘ඉන්සයිට්’ සඳහා ඇමෙරිකාවේ නාසා ආයතන භාවිතා කරනුයේ ‘ෆීනිකිස්’ පතිත කිරීමේ යානයේ තාක්ෂණය යළි භාවිත කරමින් යැයි ද පැවැසෙයි. ෆීනික්ස් පතිත කිරීමේ යානය අඟහරු මතුපිටට යැවීම සාර්ථකව සිදු කෙරුණේ 2008 දීය.
අඟහරු මතුපිට හටගන්නා භූ කම්පන පිළිබඳ සොයා බැලීමට ඉන්සයිට් යානය සවි කළ සුවිශේෂී භූ කම්පන මානය හැඳින්වෙන්නේ සෙයිස් යනුවෙනි. මෙය ප්‍රංශ ගගන පර්යේෂණ ආයතනය හෙවත් සීනෙස් විසින් නිර්මාණය කරන ලද්දකි. අඟහරු භූ ලක්ෂණ මැන බැලීමට මිනුම් උපාංගයක් සෙයිස් හා සම්බන්ධ කර ඇත. අඟහරුගේ පාෂාණ ස්ථරවල ගවේෂණයට ද මෙය යොදා ගැනෙයි.

අඟහරු භූමියේ භූ විද්‍යාත්මක වෙනස්වීම් සහ පරිණාමය සිදුවුණේ කෙසේදැයි දැනගැනීම ද මෙමගින් සිදුවෙයි. මෙම මිනුම් උපාංගය ජර්මන් ගගන පර්යේෂණ ආයතනය විසින් නිර්මාණය කරන ලද්දකි.

‘ඉන්සයිට්’ රොබෝ යානය අඟහරු වෙත යැවීමට නාසා ආයතනය සූදානමින් සිටියේ 2016 වසරේදීය. කෙසේ නමුත් ගුවන්ගත කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී තාක්ෂණික ගැටලු කිහිපයක් හටගත්තේය. ඒ අනුව, එම තාක්ෂණ ගැටලු විසඳීම කෙරෙහි අවදානය යොමු විය. රොබෝ යනය යළි ඇමෙරිකාවේ කොලරාඩෝ ඩෙන්වර්හි පිහිටි ලොකීඞ්මාටින් සමාගමේ පර්යේෂණාගාරයට යවනු ලැබුණි. 

2016 වසරේ සිදුවුණු ප්‍රමාදය හේතුවෙන් නාසා බලධාරීන්ට ඇමෙරිකන් ඩොලර් මිලියන 150 ක මුදලක් අමතරව, ගවේෂණය යානය වෙත යෙදවීමට සිදුවිය. යානයේ දෝෂය හටගෙන තිබුණේ එහි භූ කම්පන මානයේය. එය නිවැරදි කිරීම ඉතා ප්‍රවේසමෙන් සිදුවිය. 2016 වසර වෙද්දී යානය සඳහා ගිය වියදම ඇමෙරිකන් ඩොලර් මිලියන 675 ක් වූ අතර සියලු දෝෂ නිවැරදි කිරීමෙන් පසු 2018 මැයි මාසයේ යානය ගුවන්ගත කරද්දී එහි වටිනාකම වූයේ ඇමෙරිකන් ඩොලර් මිලියන 830 කි.

අඟහරු මතුපිටට හෝ අඟහරු කක්ෂයට ගවේෂණ යානයක් හෝ අඟහරු මතුපිට එහෙමෙහෙ යා හැකි රොබෝ රෝවර් යානයක් හෝ යැවීම පහසු කටයුත්තක් නොවෙයි. මෙහෙයුම් 10 ක් දියත් කළොත් සාර්ථක වන්නේ එයින් මෙහෙයුම් හතරක් පමණ යැයි නාසා විද්‍යාඥයෝ පෙන්වා දෙති. පළමුවෙන්ම අඟහරු මතට රොබෝ ගවේෂණ යානයක් ගොඩබෑම කළේ ඇමෙරිකාව නොව සෝවියට් රුසියාවය. ඒ, මාර්ස් 2 නමැති යානයයි. මෙය සිදුවූයේ 1971 වසරේදීය.

එම වසරේදීම සෝවියට් රුසියාව මාර්ස් 3 නමින් තවත් ගවේෂණ යානයක් අඟහරු මත පතිත කළේය. ඉන්පසු 1973 දී, සෝවියට් රුසියාව අඟහරු වෙත ‘මාර්ස් 6’ යානය යැවීය. ඇමෙරිකාව පළමුවෙන් අඟහරු ජයගත්තේ ‘වයිකිං 1 සහ 2’ ගවේෂණ යානා මගිනි. ඒ, 1976 දීය. වසර ගණනාවකට පසු ඇමෙරිකා නාසා ආයතනය 1992 දී පාත්ෆයින්ඩර් යානය සහ සෝජූනර් රෝවරය අඟහරු වෙත යැවීය. 1999 දී නාසා ආයතනය ‘මාර්ස් ක්ලයිමට් ඕබිටර්’ අඟහරු කක්ෂයට ඇතුළත් කළේය. එම වසරේදී ‘මාර්ස් පොල්ර් ලෑන්ඩර්’ සහ ‘ඩීප් ස්පේස් 2’ යානා අඟහරු මත ගොඩබැස්සවීමට සැලැස්වීය. එක්සත් රාජධානිය අඟහරු ජය ගනිමින් ‘බීගල් 2’ යානය අඟහරු යැව්වේ 2003 දීය.

2004 දී නාසා ආයතනය ස්පිරිට් රෝවරය අඟහරු මතට ගොඩබැස්සීය. 2008 දී ‘ෆීනික්ස්’ ගවේෂණ යානය අඟහරු මත පතිත කිරීමට නාසා සමත් විය. 2012 වසරේ දී නාසා ආයතනය අඟහරු බලා යැව්වේ කියුරියෝසිටි රෝවරයයි. යුරෝපා සහ රුසියානු අභ්‍යවකාශ ආයතන එක් වී, ‘ස්කිපරෙල්ලි’ ගවේෂණ යානය අඟහරු වෙත යැව්වේ පසුගිය 2016 දීය. ස්කිපරෙල්ලි යානය සාර්ථකව අඟහරු මතට පතිත කිරීමට නොහැකි විය.

ඬේලිමේල් සහ බී.බී.සී ඇසුරිනි


RECOMMEND POSTS