ගැඹුරුම විලේ කිමිඳුණු වික්‍රමය
චෙක් ජනරජයට අයත්, නැගෙරහිර දෙසින් පිහිටි, රැනීස් නමැති කුඩා නගරයට නුදුරින්, පිහිටා ඇති අගාධය හැඳින්වෙන්නේ ‘රැනීස් අගාධය’ යනුවෙනි. මෙය මිරිදිය ජලය පිරුණු හුණුගල් ලෙනකි. මෙම ලෙනෙහි පතුල සහ එහි අබිරහස් සොයා ගවේෂණයක් සිදුවිය.
අඳුරු මෙන්ම ගුප්ත මෙම අගාධය මීටර් 404 කට (අඩි 1,325 ක්) වඩා ගැඹුරු බව එහිදී අනාවරණය විය. ඒ අනුව ලොව ගැඹුරුතම ලෙන ලෙස සැළකෙන්නේ මෙම රැනීස් අගාධයයි.
ලෙන ගවේෂණය කිරීමේ ගවේෂණ චාරිකාවට නායකත්වය දුන්නේ පෝලන්ත ජාතික ගවේෂකයෙකි. ඔහු ක්‍රිස්ටෝෆ් ස්ටානෝව්ස්කි ය. ඇමෙරිකානු පුවත් සේවාවක් වන ‘ඇසෝසියේටඞ් ප්‍රෙස්’ පුවත් සේවයේත්, නැෂනල් ජියොග්‍රැපික් නාළිකාවේ මාධ්‍ය කණ්ඩායමක් සහ ඡායාරූප ශිල්පීහු කණ්ඩායමක් ද මෙම අවස්ථාවට එක් වී සිටියහ. ස්ටානෝව්ස්කි කළ මෙම ගවේෂණයට අනුග්‍රහය දැක්වූයේ නැෂනල් ජියොග්‍රැපික් නාලිකාවය.
රැනීස් අගාධය යනුවෙන් හැඳින්වෙන්නේ ජලය පිරුණු හුණුගල් ලෙනකි. මිරිදිය භූ ගත ලෙන්වල අපූරු මෙන්ම ගුප්ත සුන්දරත්වය සොයන කිමිඳුම්කරුවන්ට මෙම රැනීස් අගාධය ආධුනික තැනක් නොවිණි. එය විද්‍යාත්මක පදනමකින් සම්පූර්ණ ලෙස ගවේෂණයක් කිරීම සහ එහි පතුළ සොයා යෑම සිදුවූයේ පළමු වරටය.
ස්ටානෝව්ස්කි ද මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම අගාධයේ කිමිඳුණේය. 2015 වසරේ දී මීටර් 200 ක් ගැඹුරට ගිය ඔහුට දකින්න ලැබී ඇත්තේ ලෙනෙහි කෙළවර නොවෙයි, තව තවත් පහළට යා හැකි පටු විවරයකි. ස්ටානෝව්ස්කි එම විවරයෙන් ද ඇතුළට රිංගා මීටර් 265 ක් ගැඹුරට කිමිඳුණේය. එය ඔහුගේ සිරුරුට දැරිය නොහැකි විය. අවසානයේ දී ආපසු මතුපිටට ආ ඔහුට පීඩන කුටියක පැය හයක කාලයක් ගත කිරීමට ද සිදුවිය.
පසුගිය දා ගවේෂයේදී, එම පටු විවරය තෙක් ස්ටානෝව්ස්කි කිමිඳුණේ තනිවම නොව, ඔහු අතේ කුඩා රොබෝ කුමුඳුවක් (සබ්මැරීනයක්) ද විය. මෙම රොබෝ කුමුඳුව කේබලයකින් (රැහැනකින්) මතුපිට සිටි සෙසු ගවේෂණ කණ්ඩායම විසින් මෙහෙයවනු ලැබීය. ස්ටානෝව්ස්කි, පටු විවරය තෙක් කිමිඳී රොබෝ කුමුඳුව එයින් ඇතුළට යැවීය. ඒ අනුව, කුමුඳුවේ පාලනය ඉහළ සිටින ගවේෂණ කණ්ඩායමේ සෙසු සාමාජිකයන් අතට ලැබුණි. ඔවුන් රොබෝ යානය අඳුරු පතුළට මෙහෙයවීය.
රොබෝ යානය මීටර් 404 න් ගැඹුරට කිමිඳී ගියේය. ඒත් පතුළක් දක්නට නොලැබිණි. මීටර් 404 ක් (අඩි 1,325 ක්) යද්දී, යානයේ රැහැන දිග මදි විය. එහෙයින් ආපසු හැරී එය ඉහළට ගෙන්වා ගැනීමට ගවේෂණ කණ්ඩායමට සිදුවිය. ඒ අනුව, නිශ්චිතව ගැඹුර කොතරම්දැයි නොදත් මෙම ලෙන ලොව ගැඹුරුම ලෙන ලෙස නම් කෙරුණි. මීට පෙර, ලොව ගැඹුරුම ලෙන ලෙස වාර්තා අතරට එක් වී තිබුණේ මීටර් 392 ක් ගැඹුරු, ඉතාලියේ පෝසෝ දෙ මෙරෝ නමැති ලෙනය. ඒ අනුව, රැනීස් අගාධය ඊටත් වඩා මිටර් 12 කින් ගැඹුරුය.
රැනීස් අගාධයේ එසේත් නැතනම් රැනීස් ලෙනේ හුණුගල් පිහිටීම අසාමාන්‍යය යැයි ගවේෂණ කණ්ඩායම වැඩි දුරටත් පැහැදිලි කරයි. නැෂනල් ජියොග්රැෆික් සහ ගවේෂණ කණ්ඩාම එක් වී, ලෙනෙහි පතුළ සොයා තවත් ගවේෂණයක් ඉදිරි වසරවලදී කිරීමට නියමිත යැයි ද වාර්තා වේ. යමහල් විවරවලින් පිටතට ආ කාබන් ඩයොක්සයිඞ් ලෙනෙහි ජලයට මුසුවී ඇති බවත්, එම ජලය නිරාවරණය නොවූ සමෙහි ස්පර්ශවීමෙන් ‘කසන්න’ වුණු බවත් ගවේෂණ කණ්ඩායමේ සාමාජිකයෝ පසුව පැවැසූහ. මීට අමතරව, ගවේෂණයෙන් පසු ස්ටානෝව්ස්කි අදහස් දක්වමින් කියා සිටියේ 21 වැනි සියවසේ කොලම්බස් තමා යැයි තමාට සිතෙන බවය.
ඬේලිමේල් ඇසුරිනි