ග්‍රහකයකින් පස් ගෙනා ’හයබූසා’



සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහක අතරින් ‘රයුගු’ සුවිශේෂී ග්‍රහකයකි. තාරකා විද්‍යාඥයන් නිල වශයෙන් රයුගු හඳුන්වන්නේ ‘162173 රයුගු’ ලෙසය. රයුගු අයත් වන්නේ, පෘථිවිය අසලින් ගමන් ගන්නා, අනාගතයේ යම් දිනෙක පෘථිවියේ හැපී අනතුරක් විය හැකි අනුමාන කෙරෙන ග්‍රහක අතරටය.

ග්‍රහක යනු සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වෙද්දී සිදුවුණු හැලහැප්පීම් හේතුවන් ශේෂ වූ ග්‍රහලෝක කොටස් එසේත් නැතිනම් ග්‍රහලෝක කැබලිය. මේවා ක්ෂුද්‍ර ග්‍රහයන් ලෙසත්, ග්‍රහාංශු ලෙසත් හැඳින්වෙයි. පෘථිවියට සමීප වන ‘රයුගු’ වැනි ග්‍රහක ‘ඇපලෝ ග්‍රහක’ ලෙස නම් කර තිබේ.

කිලෝ මීටරයක විෂ්කම්භයක් යුත් ‘රයුගු’ සොයා ගැනීම සිදුවූයේ 1999 වසරේදීය. ග්‍රහක ඒවායේ රසායනික සංයුතිය අනුව කාණ්ඩවලට වෙන් කෙරේ. ‘රයුගු’ අයත් වන්නේ ‘සී’ කාණ්ඩයට සහ ‘බී’ කාණ්ඩයටය. එයින් අදහස් වන්නේ අපට හඳුනා ගැනීමට හැකි කාබන් සංයෝගවලින් මෙන්ම හඳුනා ගැනීමට නොහැකි කාබන් සංයෝගවලින් ද ‘රයුගු’ සමන්විත බවය. ඒ අනුව, විශ්වයේ රහස් අනාවරණය කර ගැනීමේදී මෙන්ම, පෘථිවියේ ජීවය ආරම්භය පිළිබ‍ඳ අවබෝධයක් ලබා ගැනීමේදී, ‘රයුගු’ ගවේෂණය ඉතා වැදගත්ය. කෙසේ නමුත්, ‘රයුගු’ ගවේෂණය සිදු කළේ ඇමෙරිකාවේ නාසා ආයතනය නම් නොවෙයි.

ඇමෙරිකාවේ නාසා ආයතනයට නොදෙවැනි වෙමින්, ‘රයුගු’ ගවේෂණයට රොබෝ යානයක් යැව්වේ ජපානයයි. ජපන් ජපාන අභ්‍යවකාශ ආයතනයයි. ‘රයුගු’ ගවේෂණයට යැවුණු යානය ‘හයබූසා 2’ ය. (හයබූසා යනු ජපන් බසින් කුරුළු ගොයා යන්න ය.) 2014 වසරේ දෙසැම්බර් 3 වැනිදා ‘හයබූසා 2’ රොබෝ යානය, ජපානය විද්‍යාඥයන් විසින් පෘථිවි කක්ෂයට තල්ලු කරනු ලැබුවේ, ජපානයේ නිෂ්පාදිත අධිබලැති රොකට්ටුවක ආධාරයෙනි. ‘හයබූසා 2’ ජපානයේ නිපොන් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ සහාය ඇතිව නිපදවන ලද්දකි. ගුරුත්වාකර්ෂණයෙන් මිදී පෘථිවි කක්ෂයේ දී, රොකට්ටුවෙන් නික්මුණු ‘හයබූසා 2’, දීර්ඝ ගමනකින් පසු ‘රයුගු’ බලා පැමිණියේ 2018 වසරේ ජූනි 27 වැනිදාය.

ග්‍රහකය මතට ගොඩබෑමන් පසු, වසරක කාලයක් දත්ත රැස් කිරීම සිදුවිය. ‘හයබූසා 2’ මවු යානයක් වැනිය. යානය තුළ කුඩා රෝවර් රොබෝ යන්ත්‍ර හතරකි. ඒවා ද ග්‍රහකයේ එහෙ මෙහෙ ගමන් කරමින් දත්ත රැස් කළේය. සාම්පල රැස් කර කළේය. ‘හයබූසා 2’ යානය ද විශේෂ කැමරා පද්ධතියකින් සහ සංවේදක පද්ධතියකින් සමන්විත විය. ග්‍රහකයේ පස් සහ සාම්පල කුඩා කැප්සියුලයකට එක් රැස් කර ගැනීමෙන් පසු ‘හයබූසා 2’ යානය 2019 දෙසැම්බර් 6 වැනිදා, ‘රයුගු’ ට ආයුබොවන් කියමින්, පෘථිවිය බලා යළි ගමන් ඇරැඹීය. ග්‍රහකයක් ගවේෂණයට ගොස් සාම්පල ලබා ගනිමින්, යළි පෘථිවියට පැමිණීමට සකස් කළ පළමු අභ්‍යවකාශ ගවේෂණ මෙහෙයුම මෙයයි. වසරක් තිස්සේ දීර්ඝ ගමනකින් පසු, ‘හයබූසා 2’ යළි පෘථිවියට ළං වූයේ පසුගිය දෙසැම්බර් 4 වැනිදාය. පෙර සැලැසුම් කර තිබුණු ආකාරයට යානයේ පස් සාම්පල බහාලූ කුඩා කැප්සියුලය පෘථිවියට එවනු ලැබූ අතර, මෙහෙයුම අවසන් කළ ‘හයබූසා 2’ යානයට සමුදීම සිදුවිය. එය, පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ සුන්බුන් අතරට එක් විය.

‘හයබූසා 2’ යානයෙන් වෙන් වී කැප්සියුලට පෘථිවිය බලා ගමන් ඇරැඹුවේ කිලෝ මීටර් 200 ක් ඉහළ පෘථිවි කක්ෂයේදීය. පෘථිවි වායුගෝලයට පිවිසෙද්දී, කැප්සියුලය ගිනිගෙන දැවෙන්න විය. ඒ, සෙල්සියස් අංශක 3000 වඩා වැඩි  උෂ්ණත්වයකදීය. කැප්සියුලය සකස් කර තිබුණේ එවැනි තාපයකට ඔරොත්තු දීමටය.

පෘථිවියට පහත් වෙද්දී, කිලෝ මීටර් 10 දුරින්, කැප්සියුලයට සම්බන්ධ පැරෂූට් දිග හැරුණි. ඒ, එහි වේගය අඩාල කිරීම සහ බොහොම සෙමින් මෙන්ම පරිස්සමෙන් පොළොවට පතිත කිරීම සඳහාය. කැප්සියුලයට හසු කර ගැනීමේ සංඥා උපාංගයක් සවි කර තිබෙන හෙයින්, එය සෙමින් සෙමින් පතිත වන්නේ කොතැනටදැයි කල්තියා ජපන් විද්‍යාඥයෝ දැන සිටියහ. කැප්සියුලය පතිත වූයේ දකුණු ඕස්ට්‍රේලියාවේ වූ මේරා කාන්තාර දේශයටය. එහෙයින්, ජපානයට ඕස්ට්‍රේලියාවේ සහාය ලබා ගැනීමට අවශ්‍ය විය.

ඕස්ට්‍රේලියා හමුදාව කැප්සියුලය සොයා ගැනීමට යෙදවිණි. හමුදා සෙබළුන් රැගත් හෙලිකොප්ටරයක්, හසුකර ගැනීමේ සංඥා අනුව යමින්, කූබර් පැඩි නමැති කලාපයට වැටී තිබුණු කැප්සියුලය සොයා ගැනීම සිදුවිය. පස් සාම්පල ද සමඟ කැප්සියුලයේ බර කිලෝ ග්‍රෑම් 16 ක් විය.

ජපාන අභ්‍යවකාශ ආයතනයේ විශේෂඥයන් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවට ගොස් සිටි අතර, ඕස්ට්‍රේලියා හමුදාව, ඔවුන් විසින් සොයා ගනු ලැබූ කැප්සියලය ජපන් විද්‍යාඥයන්ට බාර දීම සිදු කෙරුණි. ඒ අනුව, වසර 6 ක් තිස්සේ සිදු කළ අසීරු මෙන්ම, ඉතා සංකීර්ණ විශ්ව ගවේෂණ මෙහෙයුම අවසන් වූයේ, ජපනා සැබැවින්ම හපනා බව කියමිනි. ‘රයුගු’ගෙන් ලබා ගත් පස් සහ දූවිලි සාම්පලවලින් හෙළිවන රහස් ඉදිරියේ දී අපට දැනගන්න ලැබෙනු ඇත.

ජපන් පුවත් සේවා ඇසුරිනි


RECOMMEND POSTS