ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය
ආසියානු කලාපයේ ප්‍රබලයන් මෙන්ම විරුද්ධවාදීහු දෙදෙනා වන ඉන්දියාව සහ චීනය ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය දෙස සමීපව බලා සිටිති. ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකාවේ පිහිටීම රටවල් දෙකටම ඉතා වැදගත්ය.
ඔවුන්ට පමණක් නොව ඇමෙරිකා එක්සත් ජනපදය මෙන්ම කලාපීය බලවතුන් වන ජපානය, චීනය වැනි රටවල් ද ශ්‍රී ලංකාව කෙරෙහි අවධානයෙන් පසුවෙති. ශ්‍රී ලංකාව තුළ මේ වනවිට අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් බල අරගලයක් නිර්මාණය වී තිබෙන අතර ඒ අතරවාරයේදී චීනය සහ ඉන්දියාව ඔවුන්ගේ බල අරගලයේ යෙදි සිටිති.
මාස දෙකකටත් අඩු කාලයක් තුළ ඉන්දීය සාගරය මෙලෙස පොර පිටියක් බවට පත්වූ දෙවැනි අවස්ථාව මෙය වේ. මාලදිවයිනේ පැවැති ජනාධිපතිවරණයේදී චීනයට හිතවත් අබ්දුල්ලා යමීන් පරාජයට පත්වූ අතර ඉන්දියාවට හිතවත් ඊබ්‍රහිම් මොහොමද් සෝලි ජනාධිපතිවරණයෙන් ජය ලැබීය.
ඉන්දියාව සහ චීනය සැලකිල්ලට ගැනීමේ ශ්‍රී ලංකා සහ ඉන්දියාව යනු කුඩා රටවල් දෙකකි. එනමුත් එම රටවල් දෙකේ උපායමාර්ගික වැදගත්කම ඉතා ඉහළය. මෙම රටවල් දෙකම පිහිටා ඇත්තේ මැද පෙරදිගත් යුරෝපයත් සම්බන්ධ කෙරෙමින් දිවෙන ප්‍රධාන මුහුදු මාර්ග ආසන්නයේය.
මාලදිවයින සහ ශ්‍රී ලංකා යන රටවල් දෙකම ආසියාවේ සිට මැද පෙරදිගටත් ඉන් නොනැවති යුරෝපයටත් දිවෙන වෙළෙඳ හා තෙල් ප්‍රවාහන කෙරෙන මුහුදු මාර්ගවලට මුහුණලා සිටිති. මේ කරුණු නිසා ලෝක බලවත්හු සෑම විටම ශ්‍රී ලංකා සහ මාලදිවයින සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සහ අවධානයෙන් පසුවෙති. එම නිසාම රටවල් දෙක සම්බන්ධයෙන් ඔවුනොවුන් අතර බල අරගලයක් නිර්මාණය වී තිබේ.
ඉන්දියාව සහ චීනය ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කළ ද ඒවා එතරම් ප්‍රබල නොවූ අතර ශ්‍රී ලංකාවම මෙම අර්බුදය විසඳාගත යුතු යැයි එම ප්‍රකාශවලින් කියැවිණි. චීනය සහ ඉන්දියාව යන දෙරටම තමන් ශ්‍රී ලංකාවේ තත්ත්වය දේශපාලන වළල්ලෙන් සිට බලා සිටින බව ද ඇඟවූහ.
“පාර්ලිමේන්තුව කල් තබලා. පක්ෂ දෙක අතරේ දේශපාලන අර්බුදය එන්න එන්නම උග්‍ර වෙනවා. මේ තත්ත්වය ඉන්දියාවේ සහ චීනයේ දැඩි කනස්සල්ලට හේතුවක් වෙලා” යැයි කොළඹ සිටින ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් පැවැසීය.
මහින්ද රාජපක්ෂ මහතා එම පක්ෂයට මන්ත්‍රීවරුන් එක් කරගැනීමට සඳහා මුදල් වියදම් කරන බවත් චීනය ඊට සහයෝගයදක්වන බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කීය. චීනය ඒ විගසම එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය.
“කිසිදු පදනමක් නැහැ. එය වගකීම් විරහිත ප්‍රකාශයක්” යැයි ඊට ප්‍රතිචාර දක්වමින් කොළඹ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.
රනිල් වික්‍රමසිංහ මහතා ප්රතිසංස්කරණවාදී, තාක්ෂණ ක්ෂේත්රයට වැඩි නඹුරුවක් දක්වන නිදහස් වෙළෙඳපොළ ආර්ථික දර්ශනයක් ඇති දේශපාලනඥයකු වන අතර චීනය සම්බන්ධයෙන් තරමක පරෙස්සම්කාරී ස්වභාවයකින් කටයුතු කරන අයෙකි. එසේ වුවත් ඔහු ඉන්දියාව සමඟ සමීපව කටයුතු කරයි.
මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන පිටියේ හොඳ හැටි පදම් වූ නායකයෙකි. හෙතෙම අනුහස් නායකයකු යැයි ද බොහෝ දෙනා විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය අවසන් කිරීමේදී ඔහුගේ කාර්යභාරය ඇගයීමට ලක්ව තිබෙන අතර ඒකාධිපති පාලනයක් ගෙන ගිය බවට ද ඔහුට චෝදනා එල්ල වී ඇත. රනිල් වික්‍රමසිංහ මහතා මෙන් නොව ඔහු චීනය සමඟ ඉතා සමීපව කටයුතු කළේය. ඔහුගේ පාලන සමයේදී චීනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන ගණනින් ආයෝජන ලැබුණු අතර කොළඹ වරාය නගරය, මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය ආදී යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන් රැසක් චීන මූල්‍ය ආධාර ඇතිව ආරම්භ විය.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදයේ ප්‍රධානම චරිතය වනුයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. හෙතෙම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කරමින් 2015 වසරේදී ජනාධිපතිධුරයට පත්වූ අතර හෙතෙම රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම ඉන්දියාවේ සතුටට හේතු විය. චීනය අසල්වැසි රටවල් රැසක තමන්ගේ ව්‍යාපෘති දියත් කරමින් සිටි. ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය, භූතානය, නේපාලය යන රටවල් සියල්ලටම චීනය ආර්ථික සහයෝගීත්වයේ දෑත් දිගුකර ඇති අතර ඇතැම් රටවල ඔවුන්ගේ හමුදා ද සිටිති. මාලදිවයිනේ ද එහි වෙනසක් නැත. මේ තත්ත්වය නිසා අසල්වැසි රටවල පවතින චීන බලපෑම අඩු කිරීමට ඉන්දියාව උත්සුක විය.
එහෙත් ශ්‍රී ලංකා මුහුණ දී සිටින දැවැන්ත ණය අර්බුදයෙන් පැන යෑමට සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවට නොහැකි විය. මේ තත්ත්වය මත චීන ආයෝජන ඇතිව ඉදි කරන ලද හම්බන්තොට වරාය හවුල් ව්යාපාරීත්වයක් යටතේ 99 අවුරුදු බද්දකට චීනයට දුන්නේය. හම්බන්තොට වරාය ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4ක ණය මුදලක් චීනයෙන් ලබාගෙන තිබිණි. එහෙත් එම ණය පියවීමට ශ්‍රී ලංකාව අසමත් විය.
චීනය හම්බන්තොට වරායේ හමුඳා කඳවුරක් ඉදි කරන බවට ඇමෙරිකා එක්සත් ජනපදයේ චෝදනා එල්ල වූ අතර ශ්‍රී ලංකා රජය මෙන්ම චීනය ද එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.
බලශක්ති සහ දුම්රිය ව්‍යාපෘතිවල ආයෝජනය කරන රටක් වන ඉන්දියාව හම්බන්තොට ගුවන් තොටුපොළ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත. හම්බන්තොට- මත්තල ගුවන් තොටුපොළ චීන ණය ආධාර ඇතිව ඉදි කරන ලද තවත් ‘සුදු අලි’ ව්‍යාපෘතියක් යැයි චෝදනා එල්ල වී ඇත. එම ගුවන් තොටුපොළ ඉදි කරන ලද්දේ ද මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීය.
ගුවන් තොටුපොළ සහ වරාය ගිවිසුම් චීනයේ ප්‍රතිරූපයට හිතකර නොවීය. ගෝලීයව චීනය කරමින් සිටින ව්‍යාපෘති සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබේ. විශේෂයෙන්ම බටහිර රටවල් චීනයට චෝදනා කරති. චීනය ගෝලීයව මූල්‍ය ආධාර පිරිනමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතර ඒවායේ නැවත ගෙවීම් අතිවිශාල යැයි චෝදනා එල්ල වෙයි.
නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව එරට විදේශ ප්‍රතිපත්තියේ යම් වෙනසක් ඇතිවිය. තම විදේශ ප්‍රතිපත්තියේදී අසල්වැසියන්ට ප්‍රමුඛත්වය දෙන්නේ යැයි මෝදි පැවැසීය. එමෙන්ම මෝදි පසුගිය වසර තුනක කාලයේදී අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. මෝදි පළමු වරට 2015 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර හෙතෙම වසර 28කට පසු ශ්‍රී ලංකාවේ සංචාරය කළ පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බවට ද පත්විය.
කොළඹ පවතින බල අරගලයෙන් කවුරු ජයග්‍රහණය කළත් ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ චීනය අතර පවතින බල අරගලයට මැදිව සිටින බව බොහෝ විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.
“ශ්‍රී ලංකාව ආසියානු බලවතුන් අතර සබඳතා පවත්වා ගැනීමේ අර්බුදයකට මැදිවෙලා. ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකටවත් එම අර්බුදය ලෙහෙසියෙන් විසඳා ගන්න බැහැ” යැයි ඉන්දියාවේ ‘ඔබ්සවර් රිසච් පදනමේ’ (බුද්ධි මණ්ඩලයකි) සභාපති සමීර් සරන් පැවැසීය.
“රාජපක්ෂ මහතා අනිවාර්යෙන්ම චීනය සමඟ සමීපව කටයුතු කරනවා. ඔහු තමන් අවසන් කළ තැනින් නැවත පටන් ගන්නවා. චීන ආයෝජන නැවතත් ලංකාවට පැමිණේවි. පෙරටත් වැඩියෙන්. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ පසු චීනයෙන් ඈත් වූ බව පෙනිගියා. එහෙත් එය එසේ වූවක් නෙමෙයි. ඔහු තරමක් මධ්‍යස්ථ වුණා” යැයි දිල්ලි විශ්ව විද්‍යාලයේ නැගෙනහිර ආසියානු පීඨයේ හිටපු පීඨාධිපති මදු බාලා සඳහන් කළාය.
“මෙතැනි තිබෙන්නේ ශ්‍රී ලංකාව තුළ චීනයේ බලපෑම පිළිබඳ අරගලයක්. මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට පැමිණියහොත් ඉන්දියාව ඒ ගැන සතුටු වෙන එකක් නැහැ” යැයි ‘ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් ගෲප්’ සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඳ ඇලන් කීනන් කීය.
“එහෙත් වත්මන් අර්බුදය සැලකිල්ලට ගැනීමේදී ඉන්දියාව සහ රාජපක්ෂ මහතා සබඳතාවක් ඇති කරගන්න උත්සාහ කරන බව පෙනි යනවා. මේ වසර අගදී හෝ ලබන වසර මුලදී රාජපක්ෂ මහතාගේ නව පක්ෂය බලයට පැමිණෙන බව පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා රාජපක්ෂ මහතා ඉන්දියාව සමඟ සබඳතා අලුත් කරගන්න උත්සාහ කරන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා” යැයි ද හෙතෙම කීවේය.
“ශ්‍රී ලංකාව සහ මාලදිවයින වැන රටවලට කාගෙවත් සේවා රාජ්‍යයක් බවට පත්වීමේ අවශ්‍යතාවක් නැහැ. ඔවුන් කැමැති නැහැ චීනය හෝ ඉන්දියාව ඔවුන් පාලනය කරනවාට. අනාගතයේදී ශ්‍රී ලංකාවට චීනය අහිමි වෙන්න පුළුවන්. ඉන්දියාව අහිමි වෙන්න පුළුවන්. මේ රටවල් දෙකෙන් එකක් පමණක් තෝරාගන්න පුළුවන්. එය තීරණය වන්නේ ඔවුන්ගේ අභිමතය, ලැදියාවන් හා අභිලාෂ මත” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෂංහායි විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු කලාපය සහ ඉන්දීය සාගර පර්යේෂණ මධ්‍යෂ්ථානයේ අධ්යක්ෂ ගුවෝ සූටාන්ග් පැවැසීය.
හර්ෂණ තුෂාර සිල්වා
ඒ.එෆ්.පී ඇසුරිනි