හිරුට නෑගම් ගිය නාසා යානය



අභ්‍යවකාශ ගවේෂණයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඇමෙරිකාවේ නාසා ආයතනය අද (12) රොබෝ ගවේෂණ යානයක් හිරු ගවේෂණය සඳහා පිටත් කර හැරියේය.

මෙම ගවේෂණ යානය ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ එසේත් නැතිනම් පාකර් සෝලර් ගවේෂණ රොබෝ යානය ලෙස හැඳින්වෙයි. විශ්වය සහ ග්‍රහලෝක අධ්‍යනය කිරීමට රොබෝ ගවේෂණ යානා පිටත් කර ඇති නමුත් හිරු ගවේෂණයට රොබෝ යානාවක් යැවුණු පළමු අවස්ථාව මෙයයි. එහෙයින් මෙම ගවේෂණ යානය සහ එහි මෙහෙයුම ඉතා වැදගත් වෙයි.

හිරුට හැකිතාක් සමීප විය යුතු හෙයින්, පාකර් සෝලර් ගවේෂණ යානය සෙන්ටි මීටර් 11.5 ක ඝනකමින් යුත් විශේෂ කාබන් සංයෝගයකින් සමන්විත සූර්ය ආවරණයක් සවිකර ඇත. යානය පණ ගැන්වෙන්තේ සූර්ය බලයෙනි. සූර්යයාට කිට්ටුවෙද්දී යානයේ ශක්තිය වැඩි වෙයි. ඉතා අධික තාපයක් ඇතිවිට යානයේ සූර්ය පැනල නිසි ලෙස ක්‍රියාත්මක නොවෙයි.

සූර්ය පැනල සිසිල් කිරීමක් සිදුවන අතර ඊට ජලය යොදා ගෙන තිබේ. යානය පෘථිවිය සමඟ සම්බන්ධ වන්නේ ගුවන් විදුලි තරංග යොදා ගනිමිනි. සූර්ය කිරණ හේතුවෙන් සහ අධික උණුසුම හේතුවෙන් පණිවුඩවලට බාධා එල්ල වීමේ අවදානමක් ද පවතී. සූර්ය සුළං සහ චුම්බක ක්ෂේත්‍රය ගැන අධ්‍යයනය කිරීම ද මෙම යානයේ ප්‍රධාන අරමුණු යැයි ආචාර්ය නිකී ෆොක්ස් පවසා ඇත.

නිකී ෆොක්ස් බ්‍රිතාන්‍යයේ උපන් ඇමෙරිකානු විද්‍යාඥවරියකි. යානය නිර්මාණය කිරීම සහ එය පිටත් කර හැරීම ආදී කරුණු කාරණා මාධ්‍ය හරහා දැනුම්දීම කළේ ඇයයි.

පාකර් සෝලර් ගවේෂණ රොබෝ යානයේ අරමුණ වන්නේ, හිරුගේ රැස් වළල්ල ගවේෂණය කිරීමය. යානය හිරුගේ ප්‍රභාගෝලයට සමීප වෙයි. අධික තාපයට ඔරොත්තු දෙන අයුරින් යානය නිර්මාණය කර ඇති අතර, ප්‍රභාගෝලයට පැයට කිලෝ මිටර් 7,00,000 ක වේගයකින් ඇදි යද්දී යානය විනාශ වනු ඇත. ඊට පෙර එය හිරු සම්බන්ධයෙන් විද්‍යාඥයන්ට අවශ්‍ය සියලු දත්ත රැස් කරගනු ඇති අතර, එම දත්ත අසුරු සැණින් පෘථිවියට එවීම ද සිදු කරයි.

හිරු ගවේෂණයට රොබෝ යානයක් යැවීමට තීරණය කෙරුණේ 2009 දීය. යානය නිර්මාණය කිරීමේ කටයුත්තට දායක වූයේ ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් භෞතික විද්‍යා පර්යේෂණාගාරයේ විද්‍යාඥයන් සහ තාක්ෂණ ශිල්පීන්ය. යානය හිරු බලා පිටත් කර හැරීමට සියලු කටයුතු සූදානම් කෙරුණේ 2015 දීය. කෙසේ නමුත් එය මෙම 2018 වසරේ අගෝස්තු තෙක් කල් දැමීමට සිදුවිය.

හිරු බලා යැවුණු රොබෝ යානය නම් කර ඇත්තේ තාරකා භෞතික විද්‍යාඥ යූජීන් පාකර්ට ගෞරව කිරීම නිමිත්තෙනි. නාසා ආයතනය, විශ්ව ගවේෂණයට යැවුණු රොබෝ යානයක් දැනට ජීවතුන් අතර සිටින පුද්ගලයකුගේ නමින් නම් කළ පළමු අවස්ථාව මෙය වෙයි. යූජීන් නිව්මන් පාකර් ඇමෙරිකා ජාතික විද්‍යාඥයෙකි. වයස අවුරුදු 91 කි. සූර්යයා ගැන කරුණු රැසක් ලොවට හෙළි කළ කීර්තිමත් විද්‍යාඥයකු ලෙස යූජීන් පාකර් සැලකෙයි.

රොබෝ යානයට විශේෂ ‘මතක කාඞ්පතක්’ (මෙමරි කාඞ්) සවි කර ඇත. මෙම කාඞ් පතේ ඇත්තේ විශේෂ ඵලකයකි. මෙය සවි කර ඇත්තේ යානයේ අති ප්‍රබල ඇන්ටනාවට පහළිනි. එය සිදුවූයේ පසුගිය මැයි 18 වැනිදාය. පෘථිවිවාසීන් මිලියන 1.1 ක පිරිසකගේ නම් මෙම ඵලකයට ඇතුළත් කර තිබේ. එපමණක් නොව, විද්‍යාඥ යූජීන් පාකර් ගැන විස්තර පමණක් නොව, හිරු ගැන 1958 දී ඔහුගේ සොයා ගැනීම් ඇතුළත් විද්‍යා ලිපි ද ඵලකයට ඇතුළත් වෙයි. මේ අයුරින් හිරු ගවේෂණයට යානයක් යැවිය යුතු යැයි යූජීන් පාකර් මීට 60 වසරකට පෙර පෙන්වා දී තිබුණි. යානය සැකැසීම කළේත් එය පිටත් කර යැවෙන්නේත් යූජීන්ගේ සැලැසුම්වලට අනුව යැයි නාසා ආයතනය වැඩි දුරටත් කියා සිටී.

යූජීන් පාකර් රොබෝ ගවේෂණ යානය හිරු ගවේෂණය සඳහා පිටත් කිරීමට නියමිතව තිබුණේ ඊයේ ය. කෙසේ නමුත් අවසන් මොහොතේදී එය පැය 24 ක් ප්‍රමාද කෙරුණි.

යානය පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදී හිරු වෙත පිටත් කර යැවුණේ ඩෙල්ටා ෆෝ හෙවි වර්ගයේ ප්‍රබල මෙන්ම දැවැන්ත රොකට්ටුවේ ආධාරයෙනි. ඒ, කැනැවරල් තුඩුවෙනි. මිනිසා විසින් නිර්මාණය කරනු ලැබ ඇති වඩාත් වේගයෙන් යා හැකි ගවේෂණ යානය ලෙස යූජීන් පාකර් රොබෝ ගවේෂණ යානය සැලකෙයි.

මෙහි වේගය පැයට කිලෝ මීටර් 690,000 කි. එම වේගයෙන් නිව්යෝක් නුවර සිට ටෝකියෝ ගියොත් මිනිත්තුවකට අඩු කාලයකින් යා හැකිය. යානය කිලෝ මීටර් මිලියන 6.12 කින් හිරුට ළං වෙයි. මීට පෙර හිරු ගවේෂණයේ අරමුනින් නොව, හිරු වෙත රොබෝ යානයක් ගියේ නම් ඒ, 1976 වසරේය. එම යානය ‘හේලියෝස් 2’ ය. මෙම යානය කිලෝ මීටර් මිලියන 43 කින් හිරුට ළං විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS