සෞදි කුමරු මෝදි හමුවෙයි



ඉන්දියාවේ නිල සංචාරයකට පැමිණ සිටින සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් අල් සෞද් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ හමුවක් පැවැත්විණි. සල්මාන් කුමරු, නවදිල්ලිය පැමිණියේ නියෝජිත පිරිසක් ද පිරිවරා ගනිමිනි.

සෞදි කුමරු සහ අග්‍රාමාත්‍ය මෝදි අතර හමුව පැවැත්වූයේ, නවදිල්ලියේ ‘හයිද්‍රාබාද් හවුස්’ මන්දිරයේය. ‘ලෝකයේ ස්ථාවරත්වයට ඉන්දු සෞදි සහයෝගීතාව වැදගත් යැයි සෞදි සල්මාන් කුමරුන් හමුවීමෙන් පසු, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, මාධ්‍ය හමුවේ පෙන්වා පැහැදිලි කළේය. ඉන්දියාවට පැමිණෙන විදෙස් රාජ්‍ය නායකයන් නවාතැන් ගන්නේ මෙම ‘හයිද්‍රාබාද් හවුස්’ මන්දිරයේය.
‘ජී20’ සමුළුව පසුගිය සතිඅන්තයේ නවදිල්ලි අගනුවරදී පැවැත් වුණු අතර, සෞදි කුමරු ඉන්දියාවට පැමිණියේ ඊට සහභාගී වීමේ අරමුණින්ය. සමුළුව අවසන් වීමෙන් පසු සෞදි කුමරු නවදිල්ලියේ රැඳී සිටි අතර, ඔහුගේ නිල ඉන්දීය සංචාරය ඉන්පසු ආරම්භ විය.

ආර්ථික, වෙළෙඳ, ආරක්ෂක සහ සංස්කෘතික කටයුතු සම්බන්ධයෙන් සහයෝගීතාවක් ඇති කර ගැනීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ සෞදි කුමරු අතරේ පැවැති සාකච්ඡාවල තේමාව විය.

2019 වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සෞදියේ රියාද් නුවර නිල සංචාරයක යෙදුණු අවස්ථාවේදී, ඉන්දියාවත් සෞදියත් අතරේ, උපායමාර්ගික හවුල්කාරිත්වයක් වෙනුවෙන් කවුන්සියලයක් පිහිටුවා ගැනීම සිදුවිය. එහිදී ඉන්දියාවත් සෞදියත් අතර එකගතා රැසකට අත්සන් තැබුණි. එම කටයුතු තවත් ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් මෝදි සහ සෞදි කුමරුන් අතරේ සාකච්ඡා පැවැත්විණි.

සල්මාන් කුමරු වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් ඊයේ (11) උදෑසන රාෂ්ට්‍රපතිභවන්හිදී සංවිධානය කර තිබුණු අතර, කුමරු සහ මෝදි අතර සාකච්ඡා පැවැත් වූයේ ඉන් අනතුරුවය. මෙය සෞදියේ සල්මාන් කුමරුන් ඉන්දියාවේ නිල සංචාරයකට ආ දෙවැනි අවස්ථාව යැයි ද පැවැසෙයි. ඊයේ (11) සවස සෞදි කුමරු සිය නිල සංචාරය අවසන් කරමින් පිටවී ගියේ රාෂ්ට්‍රපතිභවන් මන්දිරයේ දී ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු ද හමුවීමෙන් පසුවය.


RECOMMEND POSTS